අළු පාට හැන්දෑවෙන් කළුවරට…

අපට මුළුමනින්ම ඇඳිරි නීතිය දාල දැනට මාසෙකට ඔන්න මෙන්න. කඩියො වාගේ වාහන දුවපු පාර හෝංපොල වාගේ හුදෙකලා වෙලා. නීතියත් කොරෝනාත් තුට්ටුවකටවත් මායිං නොකරන සමාජ වගකීමෙන් නිර්වින්දනය වූ ගොංතඩි ගොබිලෙක් ඉඳහිටල පාරට බහිනවා. උසට තිබුන ලේන්තැරි පුවක් ගහක් කපල කෙක්කක් බැඳගෙන කොස් ගහේ වන්දනාවක් බරට බරා බරවුන ගෙඩි ටික කඩල අහලපහලට ඛෙදල විඩානිවාගන්න සිමෙන්ති බංකුවට වාරුවුනා. කොස් අත්ත බර වරල හෑල්ලූ වුනා වගේ හිතේ බරත් සමාජ වගකීමෙන් ටිකාක් විතර හෑල්ලූ වුනා.

වෙනද වගේ අඹ ගහ යට සිමෙන්ති බංකුවේ ඉඳගෙන ගස් ගොමුවෙන් ඇහෙන කුරුළු කූජනයට කන් දෙන්න අද හිත හීලෑ නෑ. කුරුල්ලොත් වැඩිය නැත්තේ මනුසත්තු ගෙට වීමෙන් උන්ට පූර්ණ පරිසර නිදහස ලැබුන නිසා වෙන්න ඇති. මිනිස්සු නැති වුනාට බල්ලො පාරේ ඇවිදින්නෙ 'ගිය වාරේ උඹේ, මේ වාරේ මගේ' කියන්න වාගෙ උජාරුවෙන්. මල්පෙති පාවඩ එලන ඉස්සරහ වත්තෙ ඇහල ගහත් මේ දවස්වල මල් වරල. පරිසරය පුරාම තියෙන්නෙ වෙනද බක්මහේ අසිරියට කැසකවන මල්ගොමු පැණි පුරන සුවඳ නෙමෙයි. මරණයේ තිත්ත ඇත්ත ගැන අමුවෙන්ම ඇසෙන බසෙහි කම්පාවෙන් නැගන සුසුම් සුවඳ.

මරණයත් වික්ෂිප්ත බවත් අරගෙන ආපු කොරෝනාවේ අදාල මාතෘකාවෙන් බැහැර විවිධ දිගු ගැන සමාජ කතිකා මතුවෙලා. ධනභෝගි සමාජ මානසිකත්වය විසින් ගොඩනගාපු මනෝරාජික මානසිකත්වයෙන් ගොනුවුන මිනිස්සුන්ට සඳළුතලාවලින් බිමට බස්සන්න කෝරානා නම් කළු වළාකුලේ රිදී රේඛාවන්ට පුළුවන් වුනා. සුපිරි බොජන්හල් වලින් රුපියල් හයසීයට කෝපි බීපුු, රුපියල් හාරසීයට පන්සීයට චීස් කෑලි ලටපට දාපු බනිස් කාපු, සුපිරි මාර්කට් වලින් විතරක්ම ක්‍රෙඩිට් කාඩ් දික්කරල කාර් එකේ ඩිකියටම බඩු පුරෝගත්තු, අඩි පහලවේ විස්සෙ තාප්ප බැඳගෙන රෝලර් ගේට්ටු දමාගත් මිනිස්සු දැන් ගේට්ටු ඇරල ඇස් දල්වගෙන පාර දිහා බලාගෙන ඉන්නෙ එළවලූ ලොරිය, චූන් පාන් වෑන් එක එනකං. හැමදෙයක්ම දැන් ආපිට හැරෙන්න පටන් අරගෙන. කොරෝනා මිනිස්සුන්ට අමතක නොවෙන ජීවිත පාඩමක් කියාදීල. පර්චස් විස්සෙ වත්තෙ පුරාවටම එක අඟලක් නැතිවෙන්න පොයින්ට් ගල් අල්ලගෙන තණකොලයක් නොපෑගෙන්න කකුල් පරිස්සං කරගත්තු අය අද කල්පනා කරනව ඇත්තෙ අනේ වත්තෙ කොච්චි ගහක්වත් නැති එක මොන තරම් පාඩුවක්ද කියල වෙන්න ඇති.

ඇත්තටම කෝරානාව නිසා මේ ධරණි තලයෙන්ම ඇහෙන්න කම්පිත කතන්දර. මරණයේ භීතිය මුළු සමාජයම වෙලාගෙන. මේ භයභ්‍රාන්තිය මුළු ලෝකයටම අවදිවෙන්න අළුත් යථාර්තයකුත් අරගෙන ඇවිල්ලා. ඊස් මීස් නැතිව සල්ලි පස්සෙම දුවපු සමාජයට ආපහු හැරෙන්න කාලය ඇවිල්ලා. ඉර හඳ අල්ලන්න පුළුවන් තරමට තාක්ෂණයෙන් දියුණු සුපිරි බටහිර රටවල් කොරානාව ඉස්සරහ ඇඳවැටෙන්නෙ බුල්ඩෝසර් ඉස්සරහ බිම හෙළෙන දැවැන්ත වනස්පතීන් වගෙයි. අවි අමෝරගෙන මහ පොළවට සටන් වැදුන යටිබිම්ගත ත්‍රස්තවාදීන් වගේම රාජ්‍ය ත්‍රස්තවාදිනුත් කොරෝනාව ඉස්සරහ නිරුවත් වෙලා තියෙන්නෙ ලොකු පොඩි කියල වෙනසක් නැතිවයි.

අසල්වැසියෝ, ඥාති හිතමිත්‍රදීන් විතරක් නෙමෙයි එක්කුස ඔත් සොහෝදරකම පවා පා පුටුවට යටකරල ඉර හඳ අල්ලන්න හදාපු නොමිනිසුන්ටත් දැන් භීතියෙන් දණින් වැටිල ජීවිතය අයදින්න සිද්ධ වෙලා. හවස් වෙනකොට වෙනද ඇහුන සිංදු වෙනුවට දැන් ගෙවල් වලින් ඇහෙන්නෙ පිරිත්, යාච්ඤා හ~ වගේ දේ විතරයි. හුඟාක් දෙනෙක්ට මේ නිවාස අඩස්සිය මහා වදයක් වෙලා. ඒත් පොඩ්ඩක් එක තැනක ඉඳගෙන කල්පනා කලොත් අපිට ජීවිතය අලූතින් පටන් ගන්න පොටක් පාදාගන්න අමාරු නැහැ.

පොදු මිනිස් සමාජයෙන් විතැන් වෙලා හුදෙකලාව නොපෙනෙන දිනුම් කනුවක් හොයාගෙන දුවපු මිනිස්සුන්ට සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි කියල හිතන්න ආපහු කාලයක් ඇවිත්. දෙවන ලෝක මහා සංග්‍රාමයේ තිරස්චීන මනුෂ්‍ය ඝාතන දැකල අකම්පාල වුන බටහිර ලේඛකයෝ, නාට්‍යකරුවො ඇබ්සර්ඩ් එහෙම නැත්තං විකාරරූපි නිර්මාණවේදයන් ලෝකයට ඉදිරිපත් කළා. ෆ්‍රෑන්ක් කෆ්කා මේ ඉච්ජාභංගත්වය පාදක කරගෙන කෙටි කතාවක් ලිව්වා 'මැටමෝෆොසිස්' කියල. බුරුතු මරණ නිසා සමාජ මානසිකත්වයේ ඇතිවුන හිස් බව ගුඨබව තමයි ඒම නිර්මාණයට පාදක වුනේ. 'මැටමෝෆොසිස්' කියන කෙටි කතාව ධර්මසේන පතිරාජ ඔහුගේ අවසාන සිනමා නිර්මාණය ලෙස 'ස්වරූප' නමින් නිර්මාණය කළා. එහි කියවුනේ කුරුමිණියෙක් වුන මිනිසෙකුගේ මනෝභාවය ගැනයි. ඇත්තටම අද කෝරානාව ඉදිරියේ කුරුමිණියෝ වෙලා ඉන්නෙ දුප්පත් තුන්වෙනි ලෝකයේ අපි විතරක් නෙමෙයි. අපට කළනොහැක්කක් නැතැයි පාරම්බාපු පළවෙනි ලෝකයේ ඇමරිකාව ප්‍රමුඛ සද්දන්තයොත් පොළවටම කඩා වැටිලා. ස්වභාව ධර්මය හරි පුදුමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *