කැලණි ගඟකි ජීවිතේ

''කොළඹ යනකොට කැලණි ගඟ දැකල තියෙනව නේද?''
විවාහ මංගල්ල්‍ය පූජාවකට ගිය වෙලාවක පල්ලියෙ සුවාමිගේ දේශනාව පටන් ගත්තෙ එහෙමයි. මමත් කණ හරෝගෙන අහගෙන උන්නා සුවාමි මොකාටද මේ එන්න හදන්නෙ කියල.
''ඔය කෝච්චි පාලම උඩින් කොළඹ යනකෙට පෑලියගොඩ හරියෙදි කැලණි ගඟ හරිම සංසුන් නේද. කලබලයක් නෑ ඔහේ ගලාගෙන යනවා. හැබැයි ඒ ගඟම හිටපු ගමන් චණ්ඩ වෙලා ගෙදම්බඩම යටකරල දාන්නෙත් කිසිම අණක් ගුණක් නැතිව.''

ඒකත් ඇත්ත තමයි. සංසුන් ගඟම තමයි බලාපොරොත්තු නොවුනු විධියට චණ්ඩ වෙන්නෙ.
''හුඟාක් පවුල් ජීවිතත් හරියට ඔය ගලන කැලණි ගඟ වාගේ තමයි. බැඳල කාලයක් යනකොට කිසි අරුමයක් නෑ. යන්නං වාලේ ඔහේ ගලාගෙන යනව. කිසිම අලූත් බවක් නෑ. හැබැයි ඉඳහිටල යකා වෙලා මහා විනාසත් කරනවා.''
අහන්න වටින දේශනයක්. හුඟාක් හිතන්න කාරණා ඒකේ තියෙනවා කියල මට හිතුනා.
''කිතුල්ගල පැත්තෙදි කොහොමද ගඟ. හරිම ලස්සනයි නේද. ගස් ගල් වල වැදි වැදි කඩා හැලෙන හැටි බලන්න ආසයි. හරියට බැඳපු අලූත ජීවිතේ වගෙයි.''

හරි නේන්නං. බැඳපු මුල්කාලෙ තියෙන සෞන්දර්ය, චමත්කාරය කාලයක් යනකොට නොදැනිම අවතැන් වෙනවා. අතුරුදන් වෙනවා. මට මතක් වුන කැලණි විශ්ව විද්‍යාලයේ බණක් අහන්න ගිය වෙලාවෙ දේවාලෙගම මේධානන්ද හාමුදුරුවොත් කැලණි ගඟ ජීවිතයට ආදේශ කරල වදාරපු බණ.

''මාලිබොඩ, දැරණියගල පැත්තෙන් ගලාගෙන එනකොට කැලණි ගඟට ගංදැලේ ගස් වලින් මල් වැටෙනවා. ඒ නිසා ගඟ හොඳම සුවඳත් අඳුනනවා. හැබැයි පෑලියගොඩ පැත්තට එනකොට වැසිකිලි කටවලූත් හරවල තියෙනවා. ඒ නිසා ගඟ නරකම ගදත් දන්නවා. ජීවිතයත් ඒ වගේ ගඳ සුවඳ දෙකටම ඔරොත්තු දෙන්න පුළුවන් විඳියට හදාගන්න ඕනෙ.''

එකනේ අපිත් විවාහ පොරොන්දු දෙනකොට කියන්නෙ සුව සැපේදි වගේම ලෙඩ දුකේදිත් කියල. වර්තමාන විවාහ මංගල්ල වල සරුසාරේ උපරිමයි. විවාහ ජීවිත වලත් කිසිම අඩුවක් නෑ. ගෙවල්, යනවාහන, ගෘහ උපකරන, යාලූ මිත්‍රයෝ, රැකී රක්ෂා. ඒත් බොහෝ වෙලාවට ප්‍රේමය විතරයි අඩු. ප්‍රේමයෙන් තොර විවාහය වට්ටක්කා වැලක් නැති හේනක් වගේ වෙනවා. නීරසයි කෘතිමයි.

රොබට් නොක්ස් කියන්නෙ රජ කාලෙ අපේ කිරිපල්ල අතගාල අපි ගැන පොතක් ලියාපු ඉංගී්‍රසිකාර හිරකාරයෙක්. එයාගෙ කාලෙ කසාදෙ හරිම සිම්පල්. වැඩිය ඕනෙ නැහැ දැනට අවුරුදු තිහ හතලිහකට ඉස්සර දරුවො කියන්නෙ පොදු වස්තුවක්. අම්ම තාත්තට නොපෙනෙන දුර ගමේ ගොඩේ හැඳුනත් උං ආරක්ෂිතයි. දරුවන්ට හැම කෙහෙම්මලක්ම අම්මල තාත්තල කරල දුන්නෙත් නැහැ. එක පවුලෙ ළමයි හත අටක් උන්නා. උනුත් අම්ම තාත්තලගෙ සීසී ටීවි ඇලට් නැතිව නිදහසේ හැදුනා. ඇත්තටම දරුවන්ටවත් දෙමාපියන්ටවත් පවුල් ඇතුලෙ මෙහෙම ප්‍රෙෂර් තිබුනෙත් නෑ.

අද කාලෙ කසාදයක් කියන්නෙ පට්ටම ප්ලෑනින් වැඩක්. ඒත් ජීවිතයට කිසිම ප්ලෑන් එකක් නෑ. බැන්දට පස්සෙ තමයි මතක් වෙන්නෙ විවාහ ජීවිතය කියල එකකුත් තියෙනව නේද කියලා. කසාදෙ කියන්නෙ මොකද්ද හැබෑට. කසාදෙ සිංහල වචනයක් නෙමෙයි. කසා කියන්නෙ ලතින් භාෂාවෙන් ගෙදර කියන එකයි. කසාද බඳිනව කියන්නෙ දෙන්නෙක් එක ගෙදරකට වෙනව කියන එකයි. ගෙදරක් කියන්නෙ කුටුම්බයක්. කැණිමඩලක්. පවුලක්. ඒකට අරුතක් නොතිබුනොත් විරිතක් නැති කවියක් වගේ නීරසම තමයි. බැන්දට පස්සෙ දෙන්න දෙමාල්ලෝ කියන්නෙ මහා සමාජයේ පුංචි න්‍යෂ්ඨියක්. ඒක එතන ඉඳල තමයි විදාරණය වෙන්නෙ.

කසාදෙන් පස්සෙ එන ප්‍රශ්න විසඳල දෙන්න අර මගුල් ගෙදර ඇවිත් හොඳට බීල බොක්ක දෙන්න කතා කරන කවුරුත් එන්නෙ නෑ. මහගම සේකර කලකට ඉස්සර ලිව්ව කවියක් මෙහෙම.

'ඔබ සිනාසෙන විට මුළු ලෝකයම ඔබ හා සිනාසෙයි.'
'ඔබ වැලපෙන විට මුළු ලොවම ඔය අතහැර සිනාසෙයි.'
මේක තමයි ඇත්ත. ප්‍රශ්න එයි වැටෙන්න එපා. පරාක්‍රම කොඩිතුවක්කු ලියනව මෙහෙම කවියක්. 'සූරලා ගෙනයන්න මා හදේ පිපුන මල් මල් නගන වසන්තය ඔබට ගෙන යා නොහැක.'කසාද ජීවිතේ එක වසන්තයකින් කෙලවර වෙන එකක් නෙමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *