ධනංජනා සහ නිදුක්

මේ ලිපිය ලිව්වෙ මාර්තු මාසෙ දවසක. සුපුරුදු පරිදි එදා රාති්‍රයේ කම්පිත පිංපොත ලියන්න පරිගනකය ඉස්සරහ ඉඳගත්තා. ඉඳගෙන ඉන්න තැන ඉඳල වම්පැත්තට ඔලූව ටිකාක් හැරෙව්වම අල්ලපු වත්තෙ කොහොඹ ගහ අස්සෙන් මැදින් හඳ මෝදු වෙන්න අරන්. පෝයට තියෙන්නෙ තව දවස් දෙකක් නිසා හඳට ආඩම්බරකම් පාන්න හයියක් ඇවිත්. අප්‍රේල් 04 වෙනිදා බොරැල්ල පුංචි තියටර් එකේ වේදිකාගත කරන්න ලැහැස්ති වෙලා හිටපු 'සුදු ඇඳගෙන හොරු ඇවිදින්' කියන මගේම නාට්‍යයේ ටිකට් පොත් 80 ට කටු ගහල මහන්සියටම ලියන වැඩේට බැස්සත් හිත එකඟ කරගන්න බැරිවුනේ ඒ වෙලාවෙ රූපවාහිනියෙ විකාශය වුන රියලැටි වැඩසටහන නිසා.

"අජිත් මෙහෙ එන්නකෝ. මේ බලන්න අනේ මේ ළමයා."

බිරිඳගේ කංකරච්චලේය හිතෙන් බැන බැන ගිහින් ටීවී එකට ඔලූව දැම්මා. අමුතු පෙනුමක් තියෙන දැරියක් ගීතයක් ගයන්න ඇවිත්. පෙනුමෙන් අවුරුදු 12 ක් විතර ඇති. මුහුණේ කම්පිත විකෘතියක් සටහන් වෙලා. මුහුණ පුංචියි. හැඩෙත් වෙනස්. ඇස් ලොකුයි. හිත සසල කරවන තරමට ඇය ආබාධිතයි. වයස අවුරුදු විස්සක් කියල තිරයේ සටහන් වුන ඇය, සුජාතා අත්තනායක මහත්මිය ගායන කළ 'ඔංචිල්ලා තොටිලි කොයින්දෝ, රන් සළු පිළි වළලූ කොයින්දෝ' ගීතය හැඟීම්බරව ගායනා කලා. ඒ දිහා ඒකාත්මිකව බලාගෙන හිටපු විනිශ්චය මඩුල්ලෙ දඩබ්බර අමල් පෙරේරාත් කඳුළු පිහදාගත්තා. ශාලාවේ සජීවිව බලාගෙන හිටපු හුඟ දෙනෙක් කඳුළු පිසදාගත්තෙ රූපවාහිනිය ඉස්සරහ හිටපු මාවත් ඒ ගොඩටම ඇදල දාගෙන. සමහර විට මේක කියවන ඔබත් කම්පිත දෑසින් දයාර්ද්‍ර හදින් ඇගේ ගීතය අහන්න ඇති. එක තැනක ඒ ගීතයේ මෙහෙම කියවෙනවා. 'හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි.' ඇය ගීයේ ගේය පද, ලලිත්‍යයෙන් කියන්නෙ අපිට සිහිනයෙන් අවදි වෙන්න කියලයි.

"ලාල ලීල ලාලිත සඳ දිලෙන ගඟ අසබඩ, සපුමල් වන වියනේ රුක් ගොමු වලින් විකසිත වන රාති්‍රයක, කෝලිත ප්‍රභාෂ්වර නෙත් විහිදා අහස් අනන්තයට පහන් තරුවෙන් පාර අසාගෙන නුරාවෙන් සැලෙන ඕෂධි තරු මල මඟහැර..." කෙලවරක් නැතිව හිතට ගලා ආපු සෞන්දර්ය තානය හදිසියේම ගොලූවුනා. දැල්වුන ඇස් නිවෙන්නට ඉඩ නොදී ධනංජනා නම් වූ ඒ තරුණියගේ ආත්ම විශ්වාසය දිහා එක ඉද්දට බලා ඉන්න මට ඇවිටිලි කලා.

"කුරුලෑවක් ආවත් ගෙයින් එලියට බහින්නෙ නැතිව හැංගෙන තරුණියන් ඉන්න රටේ ඔයා කොයි තරම් ධෛර්යසම්පන්නද ?" විනිශ්චයාසනයේ තවත් අසුනක් දරාපු ෂිහාන් මිහිරංග කියනවා. ඒ බසට මුළු ශාලාවම දෙදරන්න අත්පොලසන් දෙනවා. ඒ ෂිහාන්ගේ බසට වඩා ධනංජනාගේ හිතේ හයියට. ආබාධිත ධනංජනා දෙනෝදාහක් බලාගෙන ඉන්න වේදිකාවට ගොඩවෙලා මං වගේ කෙනෙකුටත් මෙහෙම හිටගන්න හුඟාක් දේ ඕනෙ නෑ කියල ලයාන්විතව එහෙත් දෝංකාරය දෙන්න හඩ නගනවයි කියල මට හිතෙනවා. මම බිරිඳට නොදැනෙන්න උපැස් යුවල අස්සෙන් කඳුලූ පිසදමාගන්න ගමන් හදවතින් ඇයට අත්පොලසන් දෙනවා.

'අල්ප ඉච්ඡාව සුබවාදිව ගත්තොත් ජීවිතයෙන් එගොඩ වෙන්න මහා පාලමක් ඕනෙ නැහැ පුංචි ඒදණ්ඩක් වුනත් ඇති.' නාට්‍යයකට මං ලියාපු දෙබසක් මට මතක් වුනා. ධනංජනාගේ ගීතයක් එක්ක මගේ මතකයට ආවෙ පසුගියදාක තරුණයෙකුට අවැසි සියලූ සම්පත් විතරක් නෙමෙයි රූපකායකුත් තිබුන 'නිදුක්' නම් තරුණයෙක් කුමක් හෝ සුළු සිද්ධික් දරාගන්න ආත්ම විශ්වාසයක් නැතිව මහ බැංකුවේ අටවෙනි තට්ටුවෙන් බිමට පැනල සිය දිවි නසාගත්ත සිද්ධිය. නිදුක්ලා වගේ තවත් තරුණ තරුණියො වර්තමාන පරපුරේ ඕනෙ තරම්. අපේ කාලෙ තාරුණ්‍යයට වඩා ඔවුන් බොහෝ දේ දන්නවා. ඔවුන්ට බොහෝ දේ තියෙනවා. ඒත් ඔවුන් පුංචි සසලවීමක්වත් දරාගන්න බැරි තරමට මටසිළුටු වැඩිද කියල මම මගෙන්ම අහනවා.

'මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා, කංකුම අංජන ඉල්ලා හැඩුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා' කියල නන්දා මාලිනිය අපේ කාලේ ගායනා කරපු ගීතය ආයෙත් අහන්න මගේ හිත බල කලේ ධනංජනාගේ හඩයි, දසුනයි. අපිත් කකුල් වලට සපත්තු හෙව්වෙ කකුල් නැති අය දකිනතුරු විතරයි. අපි ඇස් යට ගාන්න කුංකුම අංජන හෙව්වෙ අන්ධ අය දකිනතුරු විතරයි. අපි හුඟාක් දේ තිබුනත් නැති එකම දේකට අඩ අඩා ඉන්න කොට ධනංජනාල වගේ ධෛර්ය සම්පන්න ආබාධිත අය අපිට වඩා දිරියෙන් දිවියට මුහුණ දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *