ධනියගෝපාල පහලට බහින්න

'දොවාගත් කිරි බොමින්
ගෝපිකාව තුරුලට ගෙන
මහ අසනි වරුසාවේ
කන්ද උඩ මාලිගාවට වී
විජ්ජුලතා බලන්න සිතු
ධනියගෝපාල නුඹ කුරිරු ධනවාදියකි.'

බෞද්ධ සාහිත්‍යයේ එන ධනියගෝපාල කතා වස්තුව පාදක කරගෙන පරාක්‍රම කොඩිතුවක්කු කාලයකට ඉස්සර එහෙම කවියක් ලියනවා. ධනියගෝපාල, ධන ධාන්‍ය සරිකරගත් ධනවතෙක්, ඔහුට දොවාගත් කිරිත්, තිරිගුත් තියෙනවා. ගෝපිකාව කියන්නෙ අංගනාවක්, ඇයත් තුරුලට ගෙන මහ අසනි වරුසාවේ ඔහු ආරක්ෂිතව කන්ද උඩ මාලිගාවට වෙල විදුලි කොටනව බලා ඉන්නවා. ඔහු කවදාවත් කරදරයක් අසංගදියක් වෙතැයි සිතිවිල්ලකවත් නොසිටියෙක්.

අපේ සමාජයේත් ධනියගෝපාලලා බුසල් සේරු ගානට ඉන්නවා. යහ මෙන්ම අයසෙනුත් ධනය උපයාගෙන මට කවුරුත් ඕනෙ නෑයි කියමින් සකල සබ්බමනාවෙන්ම සපිරී යැයි සිතා උස් මැදුරු තනා දිවිගෙවන උසසුන්ටත් දැන් ඉතිං කන්දෙන් බහින්නයි කොරෝනා ඇවිත් ලබාදුන්නේ මහගු පණිවුඩයක්. හැමෝමටම එකම මරණ බය දැනිලා. ඒකට උස් මිටි භේදයක් නෑ. ඇති නැති භේදයක් නෑ. ඒකට හැමෝටම පිහිටට තියෙන්නෙ රජයේ රෝහල්.

'ආණ්ඩුවෙ ඉස්පිරිතාල. අපොයි අපි නම් මළත් පය ගහන්නෙ නෑ.' එහෙම කියපු අයත් කිසි හා හූවක් නැතිව ඔය යන්නෙ අපූරුවට අයි.ඩී.එච්. ඉස්පිරිතාලෙට. අයිඩීඑච් කියන්නෙ ගොතටුව නව නගරයට. එහෙනං මොන කෙහෙම්මලකට අයිඩීඑච් කියන්නෙ. එතනදි අතුරු ප්‍රශ්නයක්. ඒකටත් ඉතිහාසයක් තියෙනවා. ඉංගි්‍රසි පාලන කාලෙදි ලංකාවට කොළරාව ආවෙ ඉන්දියාවෙන්. කොළරාව කියන්නෙත් පාචනීය තත්ත්වයක්. ඒ නිසා ඉන්දියාව ඒකාලෙ දීපු සත්කාරක මූල්‍ය සහයෙන් තමයි අයිඩීඑච් රෝහල හැදුවෙ. ඒනිසා ඒකට නම දැම්මා Indian Diarrhea Hospital කියල. පස්සෙ ඒක කෙටිවෙලා අයිඩීඑච් වුනා. මේක අදාල නැති අතුරු කතාවක්. ඒත් අයිඩීඑච් ඉස්පිරිතාලෙ නම් මේ කාලෙ අපිට හරිම අදාලයි.

බුදු දහමෙ මූලික හරය අත්හැරීමයි. ෙජ්සුතුමා දෙසූ දහමේ මූලික හරිම ප්‍රේමයයි. කිතු සමය උඩුයටිකුරු කරල පෙරල පෙරල බැලූවත් හැම තැනම කියන්නෙ ප්‍රේමය ගැනම තමයි. මෙන්න හෙබ්‍රෙව් බයිබලයේ කියැවෙන 'රැහ්' සහ 'ඇගපෙ' කියන වචනවල අරුත හොයන්න අපිට ආපහු වාරයක් ඇවිල්ලා. සියල්ල අතැඇරල සල්ලි පස්සෙ දුවාපු මිනිස්සුන්ට නතර වෙලා හුස්මක් ගන්න අවස්ථාවක් ලැබිල. නොසලකා හරින්නන්ට අසීමාන්තිකව ආදරේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබිල.

ඔන්න දැන් අපිට මරණ බය දැනිලා. හරි හම්බ කරගත්තු ධන ධාන්‍යයෙන් වැඩක් නැති වෙන තැනට කොරෝනා ගෝලීය වසංගතයක් බවට පත්වෙලා. දුවා දරුවො රට රාජ්‍යවල රැකියාවට, පදිංචියට ගියාම පුරසාරම් කියපු දෙන්න දෙමාල්ලන්ට දුවා දරුවන්ගෙ ජීවිත අවදානම ගැන බයක් ඇතිවෙලා. සීත රටවල්වල පදිංචියට ගිහින් උපන් රටට ගරහපු අයට තමන් උපන් උෂ්ණාධික රටේ අගය වැටහිලා. ඒත් 'අම්මෙ මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න කියල' කම්පිත ගීතයක් කියාගෙන ආපහු එන්න විධියක් නෑ. එයාර්පෝට් වහල.

පසුගියදාක 'බකට් ලිස්ට්' කියල චිත්‍රපටියක් යාලූවෙක් එවල තිබුනා. ජැක් නිකල්සන් එක්ක මෝගන් පී්‍රමන් රඟපාන ඒ චිත්‍රපටයේ කියවෙන්නෙ පෙනහලූ පිලිකාවකින් පෙළෙන සල්ලි තියෙන යාලූවො දෙනේනෙක් මරණයට පෙර ජීවිතයේ කරන්න බැරි වුන දේවල් කරන්න ගන්න උත්සාහයන්. ලෝකය පුරා ඇවිදින්න ගන්න තීරණය. ඔවුන් යනවා. ඒත් කොච්චර දේවල් ගත්තත්, කොච්චර දේවල් බැලූවත්, කොච්චර ඇවිද්දත් ඔවුන්ට ජීවිතයේ සතුට ලැඛෙන්නෙ නෑ. ඔවුන් ආපහු එනවා. අතරමගදි එක් අයෙක් මිය යනවා. අනෙකා ගෙදර යනවා. පවුලට එකතු වෙනවා. ධනභෝගි අර්ථපතිත්වය තුළ නැති සතුට පවුලෙන් හම්බ වෙනවා.

අපිටත් බාල්දියට පයින් ගහන්න ඉස්සෙල්ලා ජීවිතේ ආපහු හැරිල බලන්න කියන ඇනවුම කොරෝනා වෛරසය ගෙනැල්ලා. සල්ලි පස්සෙ හතිදාගෙන දුවපු ජීවිතයට ඉසිඹුවක් දීල ආපහු හිතන්න කාලයක් ඇවිල්ලා. ඒකට පයින් ගහන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *