පසක් වුන වෙසක්

අපි කතාවට කියන කතා කියල ජාතියක් තියෙනවා. 'එදා රෑ තමයි රෑ'. 'ඒ වැඩේ තමයි වැඩේ'. එහෙම කියන්නෙ සේරටම වඩා හොඳ දේ මෙන්න මේකයි කියල කියන්න භාවිතා කරන කෙටි වාක්‍යයක් හැටියට. මිනිස්සු වයසට යනකොට බොහෝ වෙලාවට අතීතකාමයට දක්වන කැමැත්ත වර්තමානයත් එක්ක සසඳනවා. එතකොට අලූත් පරපුර කියනවා.
'මෙයාලට අපි කරන කියන දේවල් වල කිසි අගයක් නෑ.'ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.                                                                                                        'අපේ පොඩි කාලෙ වෙසක් තමයි වෙසක්.'

ඔන්න ඕක කියන්න තමයි මං මෙච්චර වෙලා දතකෑවෙ. අපේ මහගෙදර තිබුනෙ රාගම රම්පිටියෙ, ඒක එහෙම පිටින්ම කතෝලික ගමක්. ඉස්පිරිතාලෙ වැඩකරන පිටින් ආපු බෞද්ධ පවුලක් දෙකක් ඇරුනම බෞද්ධයෝ පුළුටක්වත් හිටියෙ නෑ. ඉතිං වෙසක් කාලෙට ඒ කාලෙ ලයිටුත් නැති අපේ ගමේ අමුතු අරුමයක් තිබුනෙ නෑ. අපේ කඩමංඩියත් කතෝලික නිසා ඒකෙත් අමුතු වෙසක් තිබුනෙ නෑ. වෙසක් කාලෙට අපේ ඔලූව වැඩියෙ හැරුනෙ කතෝලික ඛෙල්ට් එකේ බෝඩරෙන් නැගෙනහිර වෙන්න තියෙන බෞද්ධ පරිසරයටයි.

පස්සෙ කාලෙක නළුවෙක් වුන, ඒ කාලෙ දඩබ්බරයෙක් වුන මගේ සහෝදරය ශි්‍රයන්ත මෙන්ඩිස්, අපේ නංගිත් එක්ක අහල පහල අක්කලාගේ පිටිපස්සෙන් පාර දිගේ නැලිගම පන්සලට යනවා. ඒක තමයි අපේ ලොකුම වෙසක් චාරිකාව. කි.මි. 2 ක දුරක්. ඒ පන්සල තියෙන්නෙ මහර හිරගේ ගාව. පන්සලේ ටිකක් ඉඳල හිර ගෙදර වෙසක් කූඩුවක් බලල පුංචි දන්සැලකින් සරුවත් එකක් බීල පයින්ම ගෙදර එනවා. ඒ කාලෙ අපේ ගෙදරටවත් පාරටවත් ලයිට් තිබුනෙ නෑ. ඒ නිසා ලයිට් එකක පුංචි බකට් එකක් එල්ලූවත් ඒකෙ අමුතු වෙසක් තිබුනා. ඒත් අද ලයිට් හැමතැනම. බස් එකට නැග්ගත් එල්ඊඩී බල්බ් දාපු මිනි තොරන් තියෙනවා. ආලෝකේ අගයක් නෑ.

වෙසක් කාලෙට ජීවිතේට අමතක නොවෙන සිද්ධියකුත් තියෙනවා. එතකොට අයියයි මමයි දෙන්නම පුංචියි. අවු. 10 - 12 විතර ඇති. ලී ගේට්ටුව ගාවට වෙල ඉන්නකොට ගමේ වැඩිමහල් කොල්ලො වගයක් කඩමංඩිය පැත්තට යනවා වෙසක් බලන්න. අපිත් ගෙදරට නොකියා උන්ගෙ පස්සෙන් වැටුන. උං කඩමංඩියට ගිහින් කෝච්චියට නැග්ගා කොළඹ යන්න. ටිකට් නැතිව අපිත් නැග්ගා උන්ගෙ පස්සෙන්ම. කට්ටියම මරදානෙන් බැස්ස. ඉස්සර වෙසක් පෝය ඉවරවෙන රෑ දොලහට පිච්චර් පෙන්නන්න පටන් ගන්නවා. උං ටික ගිහින් එල්ෆින්ස්ටන් පිච්චර් හෝල් එකේ පොලිමේ හිටගත්තෙ අපි දෙන්නට බැන බැන. පස්සෙන් එල්ලූන කරදරේ හලන්න බැරි නිසා උං අපිටත් ටිකට් බාග දෙකක් ගත්තෙ පෝලිමේ මහා ජරමරය කෙලවර කරගෙන. අපි බැලූවෙ 'තුෂාරා'. ඊට පස්සෙ දන්සැලකින් බත් කාල ඔය පිටකොටුව, කොටහේන, බොරැල්ල පැත්තෙ කකුල් කෙඩෙත්තුව හැදෙනකං ඇවිදල පාන්දර පහට විතර කෝච්චියට නැගල ගෙදර ඇවිත් තාත්තගෙන් බඩ පුරා ගුටි කෑවා.

ඒ කාලෙ ඉතිං පුංචි අපිටත් වෙසක් පසක් වුනෙ නෑ. අපිටත් ඒක ඇහැ පිනවන ආලෝක මායාවක් විතරයි. ඒත් පස්සෙ කාලෙ ජයසේන ජයකොඩිගේ 'අමා වැස්ස', කෝ. ආනන්ද හාමුදුරුවන්ගෙ 'හේ සිද්ධාර්ථ නම් විය', හර්මන් හෙසගේ 'සිද්ධාර්ථ' එහෙම කියෙව්වට පස්සෙ කතෝලික මටත් බුදු බණ පසක් වුනා. පොඩි කාලේ වෙසෙඟ් දැකපු වෙසක් කූඩු, තොරණ්, වෙස්මුහුණු, ඔලූ බක්කො, සල් උයන්, බැති ගී, අපාය විතරක් නෙමෙයි බයිසිකල් පදින ඇට සැකිලි ගැන තිබුණු විශ්මය ප්‍රහීන වෙලා ගියා

පස්සෙ කාලෙ ඔලූ බක්කො නටවන එක රජයෙන්ම තහනම් කලානෙ. හැබැයි වැඩේ අනර්ථකාරි වුනත් අපි පුංචි කාලෙ අපි වැඩියෙන්ම කල්මැරුවෙ තොරණ ගාවට වඩා දන්සැල් ගාවයි ඔලූබක්කො නටවන තැන්වලයි තමයි. ඒ වගේම එක එක යක්ෂ මුණු දාගත්තු දඩබ්බර කොල්ලො වෙසක් බලන්න පාරට බහින කෙල්ලොන්ව බය කරනවා. කෙල්ලොත් බොරුවට බය වුනාට ඒකට අකමැත්තකුත් නෑ. එවායින් ඒ කාලෙ රහක් වින්ඳත් පස්සෙ බුදු තෙමඟගුල ඉන් අපවිත්‍ර වෙනවාය කියා පසක් වුනා.

වෙසක් සමයේ සම්බුදු තුන්බුදු මඟගුල සමරන්න ප්‍රතිපත්තිය ඉක්මවා ගිය ආමිස පුද පූජා ලෙස විකාර කිරීම නම් පිළිකුල් සහගත තමයි කියල ඔන්න දැන් ඉතිං අවබෝධ වෙනවා. සැදැහැ, මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා වැඩිය යුතු බුදු බණ ජීවිතය ප්‍රඥාව කරා නංවාගැනීමට ඉනිමගක් කර ගන්න එක තමයි වඩාත් යහපත්. වෙසක් කියන්නෙ විතරාගී විමුක්තිදායකයාණන්ගේ බුදු මඟ වටහාගෙන ඒ අනුව ජීවිත කුසල් පින් වඩා යහපත් ලෙස ජීවිත්වීම මිසක් එය විහිලූවක් විකාරයක් කරගන්න ඕනෙ එකක් නෙමෙයි. මේ කොරොනා කාලේ සත්පුරෂ භූමියට අවතීර්ණ වීමට සැමට බෝසත් සිත් පහළ වේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *