පොතා, යතිවරයා සහ ඕ.අයි.සී.

මේ තමයි නාට්‍ය කලා දිවියේදි මට මුණගැහුණ අපුරුම මිනිසුන් තිදෙනා. මුලින්ම මම පොතා ගැන කියන්නම්. ඔහු මට මුල් වරට මුණගැහෙන්නෙ වර්ෂ 2016 දී විතර. මම රචනා කළ 'දෙයියොත් දන්නෙ නෑ' වේදිකා නාට්‍යයේ හැත්තෑපස් වෙනි දර්ශනය තිබුනෙ නාත්තන්ඩියෙ. දර්ශන වාර හැත්තෑ පහක් වුනත් මීට පෙර මමත් බලල තිබුනෙ දර්ශන වාර තුනක් විතරයි. අධ්‍යක‍ෂක සරත් කුලාංගගේ දැඩි පෙරැත්තය නිසා මම කෝච්චියෙ නැගලා නාත්තන්ඩි ගියා. නාට්‍යයේ හිටපු කවුරු හරි කෙනෙක් නේපත්‍යගාරයේදි ඔහුව මට හඳුන්වල දුන්නා.

'මෙයා තමයි පොතා. මෙයා මේ නාට්‍ය දැනට පනස් තුන් වතාවක් බලල තියෙනවා.' ඇස් උඩ ගියා. මට ඒක අදහගන්නත් බැරි වුනා.
'මම බල්ලොත් එක්ක බෑ දෙසිය විසි තුන් වාරයක් බැලූවා.'

මේ ආකාරයට ඔහු බලාපු නාට්‍ය වල ලැයිස්තුවක් සහ දර්ශන වාර ප්‍රමාණයත් එක දිගට කියාගෙන යනවා. නම නොදන්න නිසා හැමෝම ඔහුට කිව්වෙ පොතා කියල. පොතා අවුරුදු 45 ක විතර පුද්ගලයෙක්. රස්සාව බස් වල පොත් විකුණන එක. ඔහු සමහරදාට නාට්‍ය බලන්න කොළඹ ඉඳල ඈත දුර බැහැර පළාත් වලට පවා එනවා. මේ විධියට ඔහු මා සමඟ මිතුරු වුනා. මා සමඟ විතරක් නෙමෙයි ඔහු නාට්‍ය කණ්ඩායමත් එක්කම මිතුරුයි.

නාට්‍ය ශාලාවට එන ඔහු මුලින්ම කරන්නෙ ටිකට් පතක් මිළට ගන්න එකයි. ඔහු 3.30 දර්ශනය බලල නැවත ටිකට් පතක් අරගෙන 6.30 දර්ශනයත් බලනවා. සමහරදාට අපි කියනව ටිකට් ගන්න එපා ඇතුලට දාන්නං කියල.
'ඒක හරි නෑ. ඔයගොල්ලො නාට්‍ය හදන්නෙ සල්ලි වියදම් කරල. ඉතිං අපි ඒක බලන්න ඕනෙත් සල්ලි දීලම තමයි.'

ඒකයි ඔහුගේ ප්‍රතිපත්තිය. මෙහෙම සල්ලි වියදම් කරල නාට්‍ය බලන්න තරම් ඔහු සල්ලිකාරයෙක් නෙමෙයි. යංතං දිවි සරිකරගන්නා පේව්මන්ට් වෙළෙන්දෙක්. මගේ 'අළුත් හොරෙක් ඕනෑ' නාට්‍ය බලන්නත් ඔහු ලංකාව පුරාටම ආවා. සමහර විට අනුරාධපුරේ, තවත් දවසක අගුණකොලපැළැස්සෙ. ඔය විධියට ඔහු දුර ඈත ශාලාවවල් ඉස්සරහින් හදිස්සියෙම මතු වෙනවා. නාට්‍ය බලල විවේකයේදි අප සිටින තැනට ඇවිත් තියෙන දෙයක් සප්පායං වෙනවා. ඔහුගේ නාට්‍ය කලාවේ ඇලූම් කිරීමේ තරම කියනව නම් විජය නන්දසිරි කලාකරුවාගේ චිතකයට ගිනි තියපු වෙලාවෙ ඔහු චිතකයට පනින්නත් හැදුවා.

මේ දෙවැන්නා. මේ දවස්වල අළුත් නාට්‍යයේ පුහුණුවීම් වැඩිපුර සිද්ධ වෙන්නෙ මහරගම ආනන්ද මෛති්‍රය විහාරස්ථානයේ එතන විහාරාධිපතිධූරය දරන්නෙ හත්පෝරුවේ චන්දරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමන්ගෙ අතින්ම මැටි ගහල සුන්දර ශාලාවක් වෙල් ඉස්මත්තෙ හදල තියෙනවා. එම ශාලාව නාට්‍ය පුහුණුවට ලබාදෙන්නෙ නොමිලේ. ඒ විතරක් නෙමෙයි. පිරිසිදු වැසිකිලි වගේම නවීන පන්නයේ මුළුතැන්ගෙයකුත් ඒ ශාලාවෙ තියෙනවා. ඒකෙ බිස්කට්, තේ කොල, සීනි, පිටි, කෝප්ප පීරිසි විතරක් නෙමෙයි වතුර උණුකරන්න විදුලි කේතලයකුත් තියල තියෙනවා. ඒ සේරම නොමිලේ.

මැටි ශාලාව වටේටම පළතුරු ගස්, එක් පසකින් ඇරැව්වල දක්වා විහිදෙන විසල් කෙත් යායක්. නාට්‍ය පුහුණුවකට කියාපු පරිසරය. මව්බිමේ යහපත් නාට්‍ය සංස්කෘතියක් බිහිවෙනු දැකීම විතරයි උන්වහන්සේගේ සතුට. ආගම දහම කුමක් වුනත් අරමුණු යහපත් වුනාම සිත් යාය මල් යායක් වෙනවා. දැන් නැතිවුනාට ඉස්සර දේවස්ථාන ආශ්‍රිතවත් එහෙම තැන් තිබුනා. රාගම පල්ලියෙ තිබුනා බීඩි මඩුව, එතකොට කොල්ලූපිටියෙ ගල්පල්ලිය, රත්මලානෙ කම්කරු සෙවන, මරදානෙ පතිමා පල්ලිය වගේ තැන්වල පුහුණුවීම් වලට අවැසි පහසුකම් තිබුනා. දැන් නම් ඒ හුඟාක් දේවල් පල්ලියෙන් ඈත් වෙලා ගිහින්. කලාවට එහා ගිය ගොඩනැගිලි සංස්කෘතියක් පල්ලිය ආක්‍රමණය කරල.

නාට්‍ය දිවියේදි මට මුණගැහුන තෙවෙනි අපූරු පුද්ගලයා මාවනැල්ල පොලිසියේ ඕ.අයි.සී අකිල. මාවනැල්ල අවට විතරක් නෙමෙයි මහනුවර ශා. අන්තෝනියෙ, ධර්මරාජෙ නාට්‍යක් තිබුනත් ඔහු නොවරදවාම ඇවිත් නාට්‍ය බලල අපිත් එක්ක කතා බහ කරලම තමයි යන්නෙ. නාට්‍යකරුවන් අතර ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු නාට්‍ය බලන්න එන්නෙ ඔහුගේ බිරිඳත් දරුවත් එක්කයි. තිදෙනාටම ටිකට් මිළට ගන්නෙ පොලිස් පාට් දාන්නෙ නැතිව.

සාමාන්‍යයෙන් අපි හිතන්නෙ බස්වල පොත් විකුණන මිනිසෙක්, යතිවරයෙක් වගේම පොලිස් නිළධාරියෙක් වගෙ අය රසකාමින් නෙමෙයි කියල. ඒත් මේ තරම් අසාමාන්‍ය රසකාමින් තිදෙනෙක් මට මගේ නාට්‍ය දිවියේ කිසිම දවසක හමුවෙලා නෑ. මෙවන් මිනිසුන් සියයක් සිටීනම් දේශීය නාට්‍ය කලාව සියක් සියපත් විලක් වනු ඇතැයි මට සිතෙන වාර අනන්තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *