සීයේ දැන් අර අපේ ගේ නැත

"ගොඩාක් ඈත ඉස්සර
අපේ මහගෙයි සාලෙ පැත්තක
ලී වලින් හදාපු රාක්කෙක
තිබුන සීයගෙ පොත් ගුල
තාත්තා ඒ ගේ වෙනස් කර
හැදුව ගේ වෙන ම පැත්තක
සාලෙ තිබුණ පොත් ගුල
සීය එක්කම වේයෝ පස් කර"

වසර දෙකකට ඉස්සර ඉල් මහේ දවසක මා හිතමිත්‍ර ලෙන්ගතු රංගධර නිරෝෂන් විෙජ්සිංහ සිය අත්සන සටහන් කළ පුංචි කවි පොතක් මගේ අතේ තිබ්බා. ඒකෙ නම ඉතිරි වුන පිටු කිහිපයක්. ඒ පොතේ තිබුන මගේ හිත් ගත් කවියක පද කිහිපයක් තමයි ඔය. ඒ පොත කියෙව්වම පැහැදිලියි නිරෝෂන් රංගධරයෙකුට එයා ගිය කවියෙක් බව.

නිරෝෂන්ගේ හෘද බන්ධනීය කවිය මට කතා කලේ මතක මංපෙත දිගේ ඈතට ඈතට ඇවිදගෙන යන්න. මගේ ගමන නතර වුනේ එකදහස් නවසිය හැත්තෑ හතරෙ දෙසැම්බර් මහේ හතරවෙනිදා. එදා තමයි මට රසාස්වාදනය කියාදුන් මහඳුරුතුමා මිය ගියේ. ඒ මගේ සීයා. අම්මගේ තාත්තා. නමින් එව්ජීනු. එක කාලයක මගේ ලෝකයම වෙලා තිබුනෙ ඔහුයි. ඒ ඔහු සතුව තිබූ කතා සරිත් සාගරය නිසයි. බාල ළමාවිය රසභාවයෙන් පරිපාකයට ගෙනයන්න තරමට සන්නද්ධව තිබුන ඔහුගේ කතන්දර කෝෂ්ඨාගාරය නිසයි.

ඒ කාලෙ අපේ ගෙවල් තිබුන රම්පිටිය පාරට ලයිට් තිබුනෙත් නෑ. සීයගේ කාමරේ එළිය වුනෙ කුප්පි ලාම්පුවකින්. සීයගෙ මෙට්ටෙ උඩින් එළල තිබුනෙ බුලත් කහට සුවඳ වහනය වෙන පැඳුරක්. අයිය, මම, නංගි විතරක් නෙමෙයි අහල පහල ළමයිනුත් සීයගෙ කතන්දර අහන්න ආවා. ඔරිසොන් පාලෙන්තන් කතාව, කාපිරි කුමාරයගෙ කතාව, මුවන්තිස්ස කුමාරයගෙ කතාව, තුත්තිරියගේ කතාව වගේ ලස්සන ජන කතන්දර වගේම යකා බැඳිඇල්ලේ, රිටිගල කන්දේ මහා විශ්වකෘත කතන්දරයත් සාහිත්‍ය රසයෙන් ඔප් නඟල සීය කිව්වේ කිසිම දවසක එකම කතාව දෙපාරක් නොකියන වගට පරිස්සං වෙලා.

සීයා අප හැරගියාම මට නැතිවුනෙ සීය විතරක් නෙමෙයි මගේ සෞන්දර්ය ලෝකයත් මට නැති වුනා. මං කඩාවැටුනා. අසරණ වුනා. ඒත් ඒකට විකල්පයක් විධියට තවත් සීය කෙනෙක් නොලැඛෙන බව වටහා ගත්තට පස්සෙ මං ටිකෙන් ටික පොත් පිස්සෙක් වෙලා පස්සෙ මහ දරුණු විධියට ඒකට ඇබ්බැහි වුනා. ඒ ඇබ්බැහිය මාව අරගෙන ගියෙ වෙනම අපූර්ව ලෝකයකට. ඒ ලෝකය කොච්චර සුන්දරද කියල හිතුනෙ පොත් අතර ජීවිතය විනිවිද දකින කොටයි. ලංකා බැංකුවට යන්න ලැබුන රැකියාව අතඇරල රජයේ මුද්‍රණාලයේ රස්සාවට ගියෙ අකුරු වලට තිබුන ආසාවට. දෙවසරකින් රජයේ සේවය තිත්ත වෙලා ගෙදරට හොරෙන් දිවයින පත්තරේට ගියෙත් අකුරු වලට තිබුන ආසාවට.

මේ වෙනකොට ජීවිතය පුරපසින් අවපසට හුවමාරු වෙමින් තිබුන් මහත් රුචියෙන් අකුරු අතරේ එකින් එක මම මගේ මතක අහුලනවා. ඒ මතක මංජුසාව පිරි පිරී ඉතිරුනත් තවත් නොනැවතී ඒ තුලට අකුරුත් වචනත් සීරුවෙන් ඔබනවා. සීත හිමයේ මිදුණු හිමකැටිති යට ශීශිරකරණය කරල ඒ මතක ස්පටික හැටියට නැවත අරන් බලල සතුටු වෙනවා. දැනුම් කෝෂ්ඨාගාරයේ මතක පැස හිත අද්දරින් තබාගෙන ඉන් තවම නිර්මාණ ගෙත්තං කරනවා. පොත් මට හුඟාක් දේ කියා දුන්නා. ඛෙංගාලි ජාතික විභූතිභූෂණ බන්දෝපාධ්‍යාට, ලියෝ ටොල්ස්ටෝයිට වගේම ගාර්ෂියා මාර්කේස්ටත් ආදරය කරන්න මට කියාදුන්නෙ පොත්.

දුකද සැපද සම සිතින් දරනට මට කියාදුන්නේ පොත්. වස්සාන ඉර්තුවක් නොතිබුන කාලයක හේමන්තයට පෙම් කරන්නට මට කියාදුන්නේ පොත්. ළදල්ලක් පවා වෙන් වෙන්ව ගිලිහෙනු දකින්නට ඉසිඹුවක් නැතිව හැල්මේ දුවන මිනිස් සමාජයේ රසාඥතාවයෙන් පරිසමාප්තව සංසුන්ව හිදිමින් විෂමව කැරකෙන ලොව දෙස ඈතට වී බලා සිටින්නට පමණක් නොව අතුපතර විදා විසල්ව වැඩෙන සවිමත් රුකක් සේ ජීවිතය දරාගන්නටත් මට කියා දුන්නේ පොත්. යම් දිනෙක මට මේ ලෝකයෙන් අත හැර යාමට බැරිව ලතවන යම් දෙයක් වේද ඒ මගේ පොත් ගොන්නයි. පොත් අතර තනිවන මම විශ්මලන්තයට ගිය ඇලිස් මෙන් අනේක අපූරත්වයක් විඳිමි.

ඔබටත් මඟ කියන මාලිමාවෝ පොත් තුළ ඇත. කියවන්න, කියවන්න, නොනැවතී කියවන්න. දිනෙක පොත් ඔබවද රසභාවයෙහි පරිසමාප්තියට ගෙන යනු ඇත. ජීවිතය දෙස ප්‍රේමයෙන් බලන්නට පොත් ඔබට කියා දෙනු ඇත. නිවැරදි චින්තනයෙන් සපිරි දුලබ මනෝභාවයන් වෙත ඔබ අවදි කරන්නට පොත්වලට හැකි බව මම විශ්වාසයෙන් කියමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *