හුදෙකලාව අවනඩුවක්

විසිවන සියවසේ ප්‍රඛටම දාර්ශනිකයා හැටියට පිළිගැනෙන ශී්‍රමත් බර්නාඩ් ෂෝ මරණ මංචකයට ලංවෙලා සිටි නිසා ඔහු මුණගැසීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස වෛද්‍යවරු උපදෙස් නිකුත් කලා.
'මට එතුමාත් එක්ක එක වචනයක් කතා කරන්න අවසර දෙන්න. එකම එක වචනයක් විතරක්.'
කොතරම් ප්‍රතික්ෂේප කලත් එක් තරුණ පුවත්පත් කලාවේදියෙක් එතුමාගේ බිරිඳට ඇවිටිලි කරන්න පටන් ගත්තා. අත්නොහරින ඇවිටිල්ල ඉදිරියෙ කම්පා වුන බර්නාඩ් ෂෝගේ බිරිඳ වෛද්‍යවරුන්ට රහසින් ඔහුව මරණාසන්න රෝගියා සිටි කාමරයට එක්ක ගියා.
''සර්, ඔබතුමා තමයි මේ සියවසේ උපන් විශිෂ්ඨතම දර්ශනවාදියා. අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ ලෝකේ තියෙන වටිනාම දේ මොකද්ද කියල.''
''මානව සම්බන්ධකම්.'' බර්නාඩ් ෂෝ අමාරුවෙන් පිළිතුරු දුන්නා.
ඒ ප්‍රකාශනය ඇතුලෙ හිතන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. මානව සම්බන්ධකම් බිඳවැටුනාම ලෝක යුද්ධ තරම් මහා විශාල සමාජ ඛේදවාචක තරමට ඒව දිග්ගැස්සෙනවා. ඉන්පසුව ඇතිවෙන හුදෙකලාවත් එක්ක ඉච්ජාබංගත්වයන් ඇතිවෙනවයි කියල මානසික වෛ්‍යවරුත් කියනවා. දර්ශනවාදි බර්නාඩ් ෂෝගේ කතාව මගේ මතකය ටිකක් ඈතට අරගෙන ගියා.

2015 අවුරුද්දෙ අපට නාට්‍යයක් එක්ක බ්‍රිස්බෙන් යන්න අවස්ථාවක් ලැබුනා. මෙල්බන්, සිඩ්නි, කැන්බරා දර්ශන අවසන් කළ මාසයක ඕස්ට්‍රේලියානු සංචාරයේ ඒ තමයි අවසාන නගරය. එහි පැමිණ දචස් තුනකට පස්සෙ විශ්ව විද්‍යාල ශාලාවක පැවති නාට්‍ය දර්ශනය අවසන් කරල සැහැල්ලූවට පත්වුනත් සංවිධායක මහතා ඊට පසුදා අපූරු සංචාරයක් ලැහැස්ති කරල තිබුනා. ඒ ගෝල්ඩ්කෝස්ට් කිට්ටුව වැඩිහිටි නිවාසෙකට යන්න.

උදෙන්ම පිටත් වෙලා මිනිත්තු 35 විතර ගමනකින් පස්සෙ අදාල ස්ථානයට ළඟා වුනා. ඒකෙ හිටියෙ හැමෝම වියපත් ශ්‍රී ලාංකිකයෝ. ඒක හිතට පොඩි අමුත්තක් දැනවූවා. මොකද ශ්‍රී ලාංකිකයින්ට විතරක් ඇරුණු වැඩිහිටි නිවාසයක් එහෙ. නමුත් පස්සෙයි විස්තරේ දැනගත්තේ. එදා ඉරිදා දවසක්. සතියවකට වතාවක් ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ නිවාස වල ජීවත්වෙන වියපත් ලාංකීය දෙමාපියෝ මේ සුභ සාධක මධ්‍යස්ථානයට එකතුවෙන දවසක් තමයි ඒ. භෞතික සම්පතින් ආඩ්‍ය වූ ඒ නොරට දරුවන්ගේ නිවාස වලින් එපිට මානසික සම්පතක් සොයාගෙන තමයි ඔවුන් රොක් වෙන්නෙ.

ගමේ ඉන්නකොට කෝපි කඩේ, වෙල අද්දර, පන්සලේ, මඟතොටේ, පුස්තකාලයේ මුණගැහිල කතාබස් කළ මේ වැඩිහිටියො එහෙ උන්නෙ හුදෙකලා වෙලා. අපි ගියෙත් සීත කාලෙක. එහෙම කාලවල එහෙ ගෙවල් වල දොරවල් ඇරෙන්නෙ ඇතුලට එන්නයි පිටට යන්නයි විතරයි. මානව සම්බන්ධකම් වලට ඉඩකඩක් නෑ. එහෙ අයට ඒකට වෙලාවකුත් නැහැ. යන්ත්‍රානුසාරි ජීවිත. අපිත් එක්ක ගිය කණ්ඩායමේ මා සොයුරු ශ්‍රියන්ත මෙන්ඩිස්, මාදනි මල්වත්තගේ, ජනක කුඹුකගේ, වසන්ත විට්ටච්චි වගේ ජනප්‍රිය චරිතත් හිටියා. ඒ අයව දැක්කම වියපත් මාපියන්ට දැනුනෙ පුදුම සතුටක්.

එතන සිටි එක් අයෙක් මාත් එක්ක කුළුපඟ වුනා. ඔහුව ජායාරූප වලින් දැකපු පුරුද්දකුත් තිබුන නිසා ඇහුවාම, ඔහු කලකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රබල අධිකාරියක සභාපතිවරයෙක්. බොහෝ දැසි දසුන්, මිත්‍ර සමාගම් අසුරේ මනා මානව සබඳකම් ජාලයකට වග කියූ කාර්යබහුල වෘත්තිකයෙක්. ඒත් ඔහුත් දැන් මේ විසල් රටේ ඔහුගේ එකම පුත්‍ර සමාගමේ හුදෙකලා වුන තාත්ත කෙනෙක්. වෘත්තීය ජීවිතයේදි නම් අපිට කිට්ටු කරන්න බැරි අනුහස්පිරි වෘත්තිකයෙක් වූ ඔහු අපෙන් මානව සබඳකම් අයදින යදියෙක් වෙලා.
''මොන දේ තිබුනක් වැඩක් නෑ පුතා. මේ හුදෙකලාව නම් දරාගන්න අමාරුයි.'' ඔහු එහෙම කිව්වෙ ශෝකයෙන්. ඒ හුදෙකලාව තාවකාලිකව නිමාකරගන්න ඔවුන් සතියකට වතාවක් රත්තරං හිරකූඩුවෙන් එලියට එනවා. අනිත් දවස් හයම සාලයේ ගිනි උඳුන ගාවට වෙලා එකම පුටුවක වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්නවා.

අපේ ළමා කාලයේ ගමේම කොල්ලො අපේ යාලූවො. අපි ඉස්කෝලෙ ගියෙ එකට, කැලේ කොලේ වෙලේ බැස්සෙ එකට. එක අඹ ගෙඩිය හතට අටට ඛෙදාගත්තා. මානව සබඳකම් ඉගෙනගත්තෙ පරිසරයෙන්. අඟෑලූම්කම් වලින්. ඒත් ඒ සොඳුරු ලෝකය ටික ටික අපේ දරු පරපුරෙන් ඈතට යන්න ගිහින්. වත්මනේ් දරුවන්ට ඛෙදා හදා ගැනීම්, දරාගැනීම් පිළිබඳ සංකූලතා තියෙනවා. ඒ නිසා සිය දිවි නසාගැනීම් වගේම දික්කසාදත් ඉහළ ගිහින්. මානව සබඳතා නැති ලෝකය විසින් තව තවත් හුදෙකලා ඇති කරාවි. එතකොට හුදෙකලාව අවනඩුවක් කියන්න මානව ශිෂ්ඨාචාරයක් නැතිව තියේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *