මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක්..?

අයි.සී.සී.චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම පිළිබඳ පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරනු ලැබූ විවේචනය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග පැවැති මූලික වටයේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමත්, උඩපන්දු කිහිපයක් ගිලිහීයාමත් විවේචනයට ලක් කරමින් කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතාව අභියෝගයට ලක් කළ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව මාලිංග එක්තරා විද්‍යුත් නාලිකාවකට මේ ප්‍රකාශය කර තිබිණි.

කෙසේවෙතත් වර්තමානය වනවිට ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයකු නොවන බැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ නොහැකි බවත් ඇතැම් පාර්ශ්ව කියා සිටිති.

මාලිංග කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව කරුණු විමසීමක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වූ බවත්, එහිදී ඔහුට අවවාද කර ඇති බවත් වාර්තා වෙයි. එසේ වුවත් දැනට විදේශගතවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා නැවත පැමිණීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂා කිරීමට අධිතාක්ෂණික පරික්ෂණයක් පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පැවැත්විණි. එළැඹෙන සිම්බාබ්වේ සහ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාර ඉලක්ක කරමින් සිදු කරනු ලැබූ මේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩකයන් 30 දෙනකු සහභාගි වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දස්කම් පුහුණුකිරීමේ සහ නැවත ස්ථාපිත කිරීමේ කළමනාකරු ලෙස කටයුතු කරන නිර්මලන් තනබාලසිංහම් මහතාගේ අධීක්ෂණය යටතේ පැවැති මේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී නුවන් කුලසේකර, ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් රැසක් ඉහළින්ම සමත්වූ බව වාර්තා වෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකුම ශාරිරික ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප විවිධ සමාජ වෙබ් අඩවිවලට මුදා හැර තිබිණි

SHARE