තුවාල ලැබූ එස්ටීඑෆ් සාමාජිකයන්ට අඩු සැලකිලි

සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ ඉකුත් දින පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයන් කොළඹ මහ රෝහලේ සිට පොලිස් රෝහල වෙත ඉකුත් (21) යැවූ බව පොලිස් විශේෂකාර්ය බළකායේ අණදෙන නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයින්ට නිසි ප්‍රතිකාර ලබාදීමට ජාතික රෝහලේ වෛද්‍යවරු අසමත්වී ඇති බවයි. පොලිස් රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයට සහාය දෙයි ද යන්න ලතීෆ් මහතාගෙන් මාධ්‍ය විමසූවිට ඒ මහතා කියා සිටියේ එම වෛද්‍යවරු රාජකාරි ඉටු කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට බැඳී සිටින බවය.

මේ වනවිට විරෝධතාවට සහභාගිවූ සිසුසිසුවියන් හැත්තෑවක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයින්ට නිසි ප්‍රතිකාර ලැබුණේ නැතැයි කියන එක සම්බන්ධයෙන් තමන්ට කිසිවක් වාර්තා නොවුණු බවයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකොට ඇත.

මෙම පරීක්ෂණය සිදු කරන කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපොළවලට හානිවීම් සම්බන්ධවම විශේෂ පරීක්ෂණයක් සිදුකරයි. එම කණ්ඩායම දැනටම හානිවීම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගනිමින් සිටියි. මීට වගකිව යුතු සියලුදෙනා ලබාගන්නා සාක්ෂි මත නීතිය හමුවට පැමිණීමට කටයුතු කරන බව පැවැසීය.

SHARE