මයිලෝ ජනාධිපති කුසලාන රගර් අවසන් සටන හෙට

පාසල් රගර් තරග බිමේ වැඩි ආකර්ශනයක් දිනාගත් අන්තර් පාසල් අවුරුදු 20න් පහළ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (24) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.ජනාධිපති කුසලාන තරග ඉතිහාසයේ සිය අටවැනි කිරුළ දිනාගැනීමේ අදිටනින් ඉසිපතන විදුහලත්, මංගල කිරුළ අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සාන්ත ජෝශප් විදුහලත් හෙට තරග වදිති.

සුමුදු රන්කොත්ගේ නායකත්වය දරන ඉසිපතන විදුහල් පිල ජනාධිපති කුසලාන තරග බිමේ වඩාත්ම කැපී පෙනෙන කණ්ඩායම වන අතර මෙවර අවසන් මහා තරගයට පිවිසියේ පිට පිට සිවුවැනි වරටය. සාන්ත ජෝශප් විදුහල් පිල ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරග ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයට පිවිසි සිටින අතර මේ ඓතිහාසික තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය දිනා සිටින්නේ විනුල් ප්‍රනාන්දුය.

වසර 2014 සිට ජනාධිපති කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ඉසිපතනය එම වසරේදී කුසලානය දිනාගත් අතර 2015 දී විද්‍යා විදුහල් පිල හමුවේ අනුශූරයන් බවට පත්විය. එහෙත් පසුගිය වසරේදී රාජකීය විදුහල් පිල පරදවා නැවත කුසලානය අත්පත් කරගත් ඉසිපතන විදුහලේ එකම බලාපොරොත්තුව හෙට තරගයේදී සාන්ත ජෝශප් විදුහල් පිල හමුවේ ජයග්‍රහණය වාර්තා කරමින් කුසලානය රැකගැනීමය.

දැඩිතරගකාරීත්වයකින් පිරුණු මයිලෝ ජනාධිපති කුසලාන අවසන් පූර්ව තරග වටයේදී සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 34-12කින් ධර්මරාජ විදුහල් පිල පරාජය කිරීමට සමත්වූ අතර ඉසිපතනය හමුවේ සාන්ත පීතර විදුහල් කණ්ඩායම ලකුණු 22-20 කින් පරාජයට පත්විය.

හෙට තරගය දෙපිලේහිම ප්‍රබල ක්‍රීඩකයන් රැසකටම වැඩ අධික දිනයක් වනු ඇත. විශේෂයෙන් පළමු වරට ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයට සාන්ත ජෝශප් විදුහල් පිල රැගෙන යමින් අවසන් පූර්ව තරගයේදී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සචිත් සිල්වා කෙරෙහි හෙට තරගයේදී ප්‍රතිවාදීන්ගේ වැඩි අවධානයක් යොමු වනු ඇත. මේ විශිෂ්ට ක්‍රීඩකයා ධර්මරාජ විදුහල් පිල සමග පැවැති එම තරගයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 5කින්ම සිය කණ්ඩායමේ ලකුණු මල්ල පුරවා දැමූ අතර තවත් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට ද සමත්විය. මීට අමතරව නායක විනුල් ප්‍රනාන්දු සහ චතුර සෙනෙවිරත්න සාන්ත ජෝශප් විදුහල් පිල අවසන් පූර්ව තරගයේදී උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත්වූහ. ගැමුණු චේතිය සහ සමීෂ විරංගත් හෙට තරගයේදී සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වගකීමක් කරපින්නා ගනු ඇත.

අවසන් පූර්ව තරගයේදී අවසන් මොහොතේ ජයග්‍රහණය අත්කරගත් ඉසිපතන විදුහල් පිල හෙට අවසන් තරගයට එක්වන්නේ සිය ප්‍රතිවාදින් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමිනි. සාන්ත පීතර විදුහල් පිලට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ඩෙවින් ගුණරත්න, රැන්ඩි සිල්වා සහ රමිත ද සිල්වා උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත්වූ අතර මනිල්ක රුබේරු උත්සාහක දිනුම් 2ක්ම ගෝල බවට පත් කළේය. මෙවර පාසල් තරග බිමේ වැඩි ජනප්‍රියත්වයක් දිනා සිටින චමෝද් ප්‍රනාන්දු හෙට තරගයේදී සාන්ත ජෝශප් විදුහල් පිලේ ප්‍රබලතම ප්‍රතිවාදියා වනු නිසැකය.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ දේශීය පාසල් රගර් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් සපයන නෙස්ලේ ලංකා සමාගම එහි රිදී ජුබිලිය සැමරීමය. වසර 25ක් පුරා පාසල් රගර් පිටියේ රැඳී සිටිමින් හෙට තරගයේදී වි‍ශේෂිත ජයඝෝෂා මුහුණුවරක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙහිදී තරගය නැරැඹීමට තුරඟ තරග පිටියට පැමිණෙන දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට පමණක් නොව ලොව පුරා විසිරී සිටින දෙවිදුහලට ජයඝෝෂා නගන ක්‍රීඩා‍‍ලෝලීන්ටත් එක ලෙස සම්බන්ධ විය හැකි පරිදි ‘16th MAN’ නමින් ජයඝෝෂා කිරීමේ නවතම ක්‍රමවේදයක් මෙරට ක්‍රීඩාලෝලීන්ට හඳුන්වා දෙයි.

මෙහි විශේෂත්වය වන්නේ හෙට තරගයට සජීවිව එක්විය නොහැකි ක්‍රීඩා‍‍ලෝලීන්ට ඉසිපතන විදුහලට සහ සාන්ත ජෝශප් විදුහලට වෙන් කර ඇති දුරකතන අංක 2ක් ඔස්සේ ‘missed call’ ලබාදීමෙන් තම ප්‍රියතම කණ්ඩායමට ඔල්වරසන් දීමේ අවස්ථාව උදාවීමය. ඔවුන් ලබාදෙන ‘missed call’ අනුව සහය පළ කරන කණ්ඩායම දිරි ගැන්වීමට පිටියේ සිවු කොණේ සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විශේෂිත ජයඝෝෂාවක් ලබා දෙනු ඇත.

‘missed call’ වැඩි වශයෙන් ලබා දෙමින් සිය කණ්ඩායමට වැඩිපුර ජයඝෝෂා ප්‍රමාණයක් ලබාදීමේ අවස්ථාව මෙහිදී ක්‍රීඩාලෝලීන්ට හිමිවෙයි. මේ සඳහා සාන්ත ජෝශප් විදුහල් පිල වෙනුවෙන් ජයඝෝෂා කිරීමට දුරකතන අංක 0720760160 ලබාදී ඇති අතර 0720760161 දුරකතන අංකය ඔස්සේ ඉසිපතන විදුහලට ‍ජයඝෝෂා කිරීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට උදාවනු ඇත.

මයිලෝ වෙළෙඳ නාමය මෙරට පාසල් රගර් පිටිය වර්ණවත් කිරීමේ විසිපස්වැනි වසර සමරමින් ජනාධිපති කුසලාන රගර් ඉතිහාසයේ ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම්වල නායකයන්ගේ සහාභාගීත්වයෙන් ‘වීරයන්ගේ රගර් ගැටුම’ නමින් ප්‍රදර්ශනාත්මක තරගයක් ද මෙවර අවසන් තරගයට පෙර පැවැත්වීමට නියමිතය.

වසර 1995 සිට පසුගිය වසර දක්වා මයිලෝ ජනාධිපති කුසලානය ජයගත් කණ්ඩායම්වල නායකයන් සහභාගි වන මේ තරගයේදී සාන්ත පීතර විදුහලට 1995 දී නායකත්වය දුන් සංජීව අබේගුණවර්ධන ‘මයිලෝ වයිට්’ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ‘මයිලෝ ග්‍රීන්’ පිලේ නායකයා ලෙස 1996 දී ඉසිපතන විදුහල් පිල මෙහෙයවූ බන්දුල මල්ලිකාරච්චි කටයුතු කරයි.

SHARE