රනිල්-රාජිත-ෆයිසර් මේ ආණ්ඩුවට හූනියමක්

ව්‍යසනයක් බවට පත්ව තිබෙන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ජාතික වැඩපිළිවෙළක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පළාත් පාලන ආයතනයන්හි යාන්ත්‍රණය බිඳවැටී තිබීම ඩෙංගු රෝගය මාරාන්තික ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට මූලික හේතුවක් බව මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

“ඩෙංගු ව්‍යසනය අප දේශපාලනීකරණය කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂය හැටියට. ඊට හේතුව තමයි ඩෙංගු මදුරුවාට පක්ෂ, පාට, කුල භේද, ආගම් භේද, ජාති භේද නැහැ. ඕනෑම කෙනකුට විදිනවා.

අපිට මුණගැසුණු මීගමුව රෝහලේ වෛද්‍ය ලක්කුමාර මහතා, ඔහු පාකිස්තානයේ ප්‍රාන්තයකට කැඳවාගෙන ගිහින් ඩෙංගු  වැඩපිළිවෙළක් කළා. එම ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන් 240,000ක් පමණ සිටියා. එම වැඩපිළිවෙළින් 40,000ක් දක්වා ඩෙංගු රෝගීන් අඩු වුණා. මේ වගේ සම්පත් දායකයන්ගෙන් ආණ්ඩුව ප්‍රයෝජනය ගත යුතුයි.

ජනාධිපතිතුමා විසින් ඇමැතිවරයා වෙනුවෙන් අමාත්‍යාංශයට ලේකම්වරයෙක් පත් කළා. ඒ තමයි උදය සෙනෙවිරත්න මහතා. නමුත් එතුමාට වැඩට එන්න දෙන්නේ නැහැ ඇමැතිවරයා. ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් විහිළු සපයන කතාවක් කිව්වා. එතුමා ශාක භක්ෂක මදුරුවෙක් හොයා ගත්තා කිව්වා ඩෙංගු කීටයා කන්න. අපි දන්න සිංහලෙන් නම් මාංශ භක්ෂකයෝ තමයි මස් කන්නේ. ශාක භක්ෂකයෝ කන්නේ කොළ ජාති. මේක හරියට සිංහයෝ තණකොළ කාලා හරක් මස් කනවා කිව්වා වගේ කතාවක්. මට තේරෙන්නේ නැහැ ඇමැතිතුමාවත් මේ විෂය තේරුම් ගත්තද කියලා.”

SHARE