ඩෙංගු මර්දනයට පරිසර ඒකක

මේ වන වට පෙර නොවූ විරූ අයුරින් ඩෙංගු රෝගය පැතිරී යෑමේ අවදානම වැඩිවෙමින් පවතී. ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අසාර්ථක යන්න නොවේ. දිගින් දිගටම දශක දෙක තුනක් තිස්සේ හඹා එමින් පැවැති කාරණා ද මීට හේතු වී තිබෙන බවය. කසළ කළමනාකරණය හා පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් තොර වීම ද මීට ප්‍රධාන හේතුවකි. එ් නිසා ඩෙංගු ප්‍රශ්නයට එක් අමාත්‍යංශයකට පමණක් කර ගැසීම ප්‍රමාණවත් නොවන තැනකට පත්ව ඇත.

කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නය අප රට තුළ කාලාන්තරයක් තිස්සේ පැවැතිණි. මීතොටමුල්ල කුණු කන්දට විසඳුමක් නොලැබීමත් සමඟම එය හිටි හැටියේ කඩා වැටීමෙන් ඊට යට වී ජීවිත ගණනාවක් නැති විය. එ් සමඟ ම මීතොටමුල්ලට කසළ දැමීම අඩපණ විය. අවසානේ එ් වෙනුවෙන් විකල්ප ස්ථාන සොයා ගැනීමට බලධාරීහු යුහුසුලු වූහ. එ් ස්ථාන සම්බන්ධයෙන් මහජන කැළඹිලි මතුවිය. මේ සමඟ ම කසළ ඉවත් කිරීම ආරක්ෂක අංශ මැදිහත් කර ගෙන උද්ඝෝෂණ මධ්‍යයේ සිදු කළ යුතු අමාරු කාර්යක් බවට පත් වුණි. කොළඹ අවටින් හා ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන මතු වූ කසළ විරෝධතාවය මුළු රට පුරාම විවිධ මට්ටමින් ව්‍යාප්ත වූ බව රහසක් නොවේ.

නිදිමත නිලධාරි

මේ අතර පළාත් පාලන ආයතන දිගින් දිගටම කොමසාරිස්වරුන් අතට පත් වීම නිසා කසළ බැහැර කිරීම හා අදාළ බලප්‍රදේශවල පවිත්‍රතාවය පිළිබඳ ප්‍රශ්නය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගෙන තිබේ. මේ වන වට කසළ ගෙන යෑමට නිල නොවන ආකාරයෙන් අදාළ සේවකයින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා තත්ත්වයක් ද සමහර තැනක දක්නට ලැබේ. ඩෙංගු රෝගයේ ව්‍යාප්තියට කසළ බැහැර කිරීම හා පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින්ගේ පාලනයෙන් බැහැර වීම එකිනෙකට සම්බන්ධ කාරණා බවට පත්ව තිබෙන්නේ එ් නිසා ය.

පසුගිය දා බදුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු මරණ දෙකක් වාර්තා විය. ඊට අදාළ මහජන විරෝධය හා අදෝනාව මාධ්‍ය මගින් රට පුරාම විකාශනය වී තිබුණි. එය වඩාත් සංවේදි වූයේ පාසල් දරුවෙක් ඩෙංගු මාරයාට බිලිවීමයි. මෙහි දී හෙළිදරව් වූ කරුණක් වූයේ අසල පිහිටි ඇළකින් ඩෙංගු මදුරුවන් බෝ වී ඇති බවයි. මේ පිළිබඳව කළ සොයා බැලීමේ දී වතුර රදා පැවැති අදාළ ඇළ ඩෙංගු මදුරුවන් බෝ කරන මධ්‍යස්ථානයක් බව හෙළි විය. දැන් එම ඇළ පවිත්‍ර කිරීමේ නිල වගකීම පැවරෙන්නේ කාටද කියන ප්‍රශ්නය මතු විය.

බැලූ බැල්මට වුව ද එම ඇළ බදුල්ල මහ නගර සභාවල ප්‍රදේශයට අයත් විය. එහෙත් එම ඇළ මාර්ගය පවිත්‍ර කිරීමේ නිල වගකිම පැවරෙන්නේ කාටද යන ප්‍රශ්නය සංවාදයට ලක් විය. එහි දී නගර සභාවේ නිලධාරීන් සඳහන් කළේ එය නගර සභාවට අයත් නොවන ඇළ මාර්ගයක් බවයි. ඔවුන්ගේ පිළිතුර වූයේ එම ඇළ මාර්ගය මහවැලි අධිකාරියට අයත් වන බවයි.

මහජන නියෝජතයින්ගෙන් තොර නිලධාරි පාලනයක් යටතේ නගර සභා බලධාරීන් පිළිතුරු සපයන්නේ මේ අයුරිනි. සැබැවින්ම එය නිලධාරීවාදි පිළිතුරකි. ඇඟ බේරා ගැනීමකි. තමන්ට අයත් නගර සභා බල ප්‍රදේශයක වෙනත් රාජ්‍ය ආයතනයකට අයත් ඇළක ඩෙංගු මදුරු කීටයන් සිටියත් එ් ඇළ මාර්ගය පිරිසිදු කිරීමට අදාළ බලධාරී ආයතනයට දැනුම් දීමේ යුතුකමක්වත් මේ පළාත් පාලන ආයතනයට නොමැති වීම පුදුම සහගතය.

අපට අයත් නැත්නම් මිනිස් ජීවිත බිලිගත්තත් කරබාගෙන සිට ප්‍රශ්නයක් යොමු වූ විට මෙවන් නිලධාරීවාදී පිළිතුරක් සැපයීම අද මේ රටේ සමහර නිලධාරීන් පුරුද්දක් කරගෙන සිටී. මෙය එක් සුළු උදාහරණයක් පමණි. මේ වන විට මේ රටේ බොහෝ පළාත් පාලන ආයතනවල වැඩ සිදු වන්නේ මේ ආකාරයට. මේ නිසා ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ගැන ද පුදුම විය යුතු නැත.

මහනගර සභා හා නගර සභා බල ප්‍රදේශවල ජීවත්වන ජනයා අදාළ පළාත් පාලන ආයතනයන්ට අනිවාර්යෙන් ම වරිපනම් ගෙවිය යුතුය. වරිපනම් නොගෙවන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන හැටි ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් ජනතාව දැනුවත් කිරීමට ද අදාළ බලධාරීහු සමත්ව සිටිති. එහෙත් ඩෙංගු මදුරුවන් බෝවන පොදු දේපළ සම්බන්ධයෙන් සංවේදි වීමක් මේ රටේ ජනතාවගේ මුදලින් පඩි ලබන නිලධාරීන්ට ඇති බවක් නොපෙනේ.

රජයේ වගකීම

කුමන පක්ෂයකට අයත් වුව ද ඊට වඩා හැඟීමක් පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයනට තිබේ. එහෙත් ජනතාවට ඔවුන් තෝරා පත් කර ගැනීමට මැතිවරණයක් පෙනෙනතෙක් මානයක නොපෙනේ. ඩෙංගු බෝවීමේ ව්‍යාප්තියේ යම් වගකීම රජයට ද බැර වන්නේ මෙවන් පසුබිමක ය.

ඊට හේතුව ඇළ මාර්ග පිරිසිදු කිරීම, කසළ ඉවත් කිරීම හා ග්‍රාමීය මංමාවත් නඩත්තු කිරීම මේ වන විට පළාත් පාලන ආයතන සතු මූලික වගකීමක් වී තිබෙන නිසාය. මේ නිසා කුමන ක්‍රමයකට හෝ පළාත් පාලන නියෝජිතයකු ලබා දීමේ අවශ්‍යතාවය මේ වන විට ජනතාවට දැඩිව පවතී. එය කිසිසේත්ම සැලකිය යුතු මට්ටමකින් නිලධාරීන් අතින් ඉටු නොවේ.

මේ අතර ප්‍රාදේශීය හා ජාතික බලධාරීහූ ජනතාවට දැනුම් දෙන්නේ තම ගෙවතු ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත්කර ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

එය හොඳ දැනුම් දීමකි. දැනටමත් ජනතාව මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කරමින් සිටී. ඒ සම්බන්ධතාවයෙන් නොසැලකිලිමත්ව ක්‍රියාකරන්නේ අතළොස්සක් පමණි. එම අතළොස්සකගේ නොසැලකිලිමත් භාවය බහුතරයේ පවිත්‍රතාවයට බාධාවකි. ඩෙංගු බෝවීමට හේතුවකි. එ් නිසා අදාළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නොමැත.

එහෙත් පෞද්ගලික මට්ටමින් තම ගෙවතු ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථාන බවට පත් කර ගැනීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් නොලැබේ. එසේ ලැබෙනවා යැයි කල්පනා කිරීම ද මෝඩකමකි. පොදු ස්ථාන සම්බන්ධයෙන් අදාළ බලධාරින් සඳහන් කරන්නේ කුමක් ද එ්වාට වගකියන්නේ කවුරුන්ද ඊයේ ජාතික පුවත්පතක් වාර්තා කළේ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි. එම වෛද්‍යවරුන් 10 දෙනා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට ඩෙංගු වැලඳී ඇත. ඒ අතරම වාර්තා වන්නේ අදාළ රෝහල් පරිශ්‍රයෙන්ම ඩෙංගු කීටයන් දහස් ගාණනක් සොයා ගත් බවයි.

අවධානයේ වැදගත්කම

මේ නිසා ජනතාව පෞද්ගලිකව මැදිහත් වී ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට නොහැකි ආකාරයෙන් තම ගෙවත්ත පවත්වාගෙන ගියත් ප්‍රයෝජනයක් වන්නේ නැත. එ් මත පමණක් බර තබා කරනු ලබන වැඩ සටහනකින් පලක් වන්නේ ද නැත. මීට අමතර ව ඩෙංගු මදුරුවන් කීටයන් හා බිත්තර විනාශ කිරීමේ ක්‍රියාකාරී වැඩ සටහනක අවශ්‍යතාව වෙනකවදාටත් වඩා මතුවෙමින් පවතී. එවැන්නතක් සමඟ එම රටේ ම අවධානය මේ සඳහා ලබාගැනීමේ ප්‍රචාරක හා ක්‍රියාකාරී වැඩ සටහනකින් රටට අවැසිව තිබේ.

“මෙම කටයුත්ත රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් භාරදීල අපිට බලාගෙන ඉන්න බැහැ.”

“අද තිබෙන ඩෙංගු උවදුරින් රට බේරා ගැනීමට හැම ආයතනයකම ආයතන ප්‍රධානීන්ගේ මුලිකත්වයෙන් පරිසර සංරක්ෂණ එ්කක පිහිටුවා ගන්න. ග්‍රාම නිලධාරි මහතාගේ හෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගමේ සිටින උගත් බුද්ධිමත් අයද මහා සංඝරත්නය ද ජනතාව ද ඇතුළු පරිසර සංරක්ෂණ එ්කක පිහිටුවා ගන්න.

චක්‍රලේඛන අවශ්‍ය නෑ. මෙයට සියලු දෙනා එකතු විය යුතුයි. යනුවෙන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගම් මට්ටමින් ප්‍රායෝගික වැඩසටහනක් යෝජනා කරයි. පළාත් පාලන ආයතනවල සභිකයින් නොමැතිකමේ අඩුව සැපිරිය හැකි සහභාගිත්වයක් සහිත එ්කකයන් ලෙසින් මෙම පරිසර සංරක්ෂණ එ්කකය හැඳින්විය හැකි ය.

එඩිතර තීන්දු

ඊට ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට ආධාර කිරීම සඳහා පිහිටුවා තිබෙන ‘පුරවැසි අත්වැල’ සමාජ සත්කාරක වැඩ සටහනේ සහාය ද ලබා දීමට නියමිතය. මේ සඳහා රට සුදානම් කිරීමේ වගකීම රජයට හා රජයේ දේශප­ාලන අධිකාරියට පැවරේ.

මීගමුව රෝහලේ කළ සංචාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය කීපයක් ඇතුළත තාවකාලික වාට්වු හා වැසිකිළි සංකීර්ණයක් ඉදි කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගත් බව රටට රහසක් නොවේ.

අවශ්‍ය නම් එවැන්නක් කළ හැකි බව රාජ්‍ය නායකයා ලෙසින් එතුමා අදාළ බලධාරීන්ට ආදර්ශයක් ලබා දී ඇත. මෙහි දී වැදගත් වන්නේ ඕනෑකම කැපවීම හා එඩිතරව තීන්දු ගැනීම බව කිසිවෙකුට අමුතුවෙන් කියා දිය යුතු නැත.

අපේ රටේ ද විදේශ විනිමය කැන්දන දෙවැනි ආදායම් මාර්ගය වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාව ඩෙංගු මදුරුවන්ගෙන් ගහන දේශයක් ලෙසින් ජාත්‍යන්තරය තුළ මතයක් ඇති වුව හොත් එය කෙළින් ම අපේ සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල කරනු ඇත

SHARE