රංගනයේ ජවය ඇත්තේ වේදිකාව මතයි

 අයේෂා දිසානායක

රංගනයේ තක්සලාව වූ වේදිකාව තුළින් සිංහල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය මේ වනවිට වෘත්තියෙන් පාසල් ගුරුවරියකි. බදුල්ල නම් සුන්දර ගම්මානයෙන් කලා ලොවට පිවිසි ඇය රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ තිබේ. කොළඹ අනුලාවේ දැරියන්ට ආදරණීය ගුරු මෑණියෙකි. කලා ලොව රසවතුන්ට සුන්දර රංගන ශිල්පිනියකි. ඇය නමින් අයේෂා දිසානායකය. අද දිනමිණ රසමංජරිය ඔපවත් කරන්නට ඇය මුදාහල අදහස් කීපයකි මේ.

l අ‍ෙය්ෂා ඔබ කොහොමද කලා ලොව දොරටු විවර කර ගත්තේ?

මගේ ගම බදුල්ල. මට වුවමනා වුණා මොනව හරි දෙයක් ඉගෙන ගන්න. ඒ නිසාම තමයි කොළඹ ටවර් හෝල් නාට්‍ය පාසලේ නාට්‍ය හා රංග කලාව දෙවසරක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න යොමුවුණේ. එහිදී සමන් සොයිසා ගුරුපියාණන් මගේ කුසලතා හඳුනාගෙන මට ඉදිරියට යන්න දිරිගැන්නුවා. එහිදී හොඳ නිර්මාණ ශිල්පීන් හඳුනාගන්න මට හැකියාව ලැබුණා. ඒ අනුව ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. මහත්තයගේ යශෝදරා’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව උදාවුණා. ඒක තමයි මගේ ප්‍රථම වේදිකා රංගන දායකත්වය. ඒත් එක්කම ධර්මසේන පතිරාජ මහත්මයත් මගේ දක්ෂතා අධ්‍යයනය කරලා එතුමගෙ ‘කම්පිත විල්’ ටෙලි නාට්‍යයේ ලෝරාගේ චරිතයට පනදෙන්න මට අවස්ථාවක් ලබාදුන්නා. ඒ අනුව තමයි මම රංගන ක්ෂේත්‍රයේ දොර පියන් විවර කර ගත්තේ.

l ඊට පස්සේ කොහොමද අයේෂා දිසානායක චරිතය කරළියේ ගමන් කළේ?

මගේ පළමු ටෙලි නාට්‍යයත්, වේදිකා නාට්‍යයත් ප්‍රදර්ශනය වීමත් සමඟම මට විවිධ චරිත තුළින් වේදිකාව හා ටෙලි නාට්‍යයන්හි දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබුණා. ඒ අතර ජානක සිරිවර්ධනගේ උඩුවියන් ටෙලිනාට්‍ය, අනුර ජයසිංහගේ ටෙලි ෆිල්ම් එකක ජනතාව පරාදයි ඇතුළු වේදිකා නාට්‍ය කීපයකම මට රඟපෑමට අවස්ථාව උදාවුණා. මේ වනවිට මම ටෙලි නාට්‍ය 20කට විතර රඟපෑමෙන් දායකවී තිබෙනවා. එහි 15ක පමණ ප්‍රධාන චරිතය කරලා තියෙනවා. වේදිකා නාට්‍යයත් ඒ වගේ තමයි.

l රඟපෑමට අමතර ඔබ වෙනත් වෘත්තීන්හි නියැලී තිබෙනවා නේද?

ඔව්! මම ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් විදියටත් කටයුතු කර තිබෙනවා. ඒ අතර තමයි මට නාට්‍ය හා රංග කලා ගුරුවරියක් විදියට වැඩ කරන්න ගුරු වෘත්තිය ලැබුණෙ. ඒ අනුව මම කොළඹ අනුලා බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක් වශයෙන් කටයුතු කරනවා.

l වෘත්තියෙන් ගුරුවරියක් කියන්නෙ භාරදූර වගකීමක්. එය ඔබේ කලා කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද?

නැතුවාමත් නෙවෙයි. මම ගුරු වෘත්තියට ගොඩක් ආදරෙයි. දූ දරුවන්ට අනාගත මංපෙත් පාදගන්න මට දායකත්වයක් දෙන්න ලැබීම මගේ භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. ඒ නිසා මම මූලිකත්වය දෙන්නෙ පාසලටයි. දෙවනුව තමයි කලා කටයුතුවලට කාලය මිඩංගු කරන්නෙ.

l අයේෂා…. ඔබ ස්වර්ණවාහිනියෙ නිවේදන කටයුතුවලින් ඉවත් වුණේ ඇයි?

ගුරු වෘත්තියට තියෙන ආදරය හා කැපවීම නිසා. දැයේ දරුවන්ගේ ඇස් පාදන්න ගුරුවරියක් වශයෙන් මට ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන්. ඒ නිසා මම නිවේදන ක්ෂේත්‍රයෙන් ඉවත්වුණා.

l ඔබ ගුරුවරියක් වශයෙන් තමන්ගෙ වෘත්තියට විශාල ගෞරවයක් දක්වන්නියක් බවයි පේන්නේ?

ඇත්තටම මේ ලෝකෙ තියන රැකියාවල් අතර ඉතාම උසස්ම රැකියාව තමයි ගුරුකම. ලෝකෙ ඕනෑම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ට ගුරුවරයෙක් හිටියා. ඕනම වෘත්තිකයකු යම් තත්ත්වයකට ඇවිත් ඉන්නවා නම් එහි පළමු හිනිපෙත්තෙ ඉන්නේ ගුරුවරයා. ගුරු වෘත්තිය වෘත්තියක්ම පමණක් නෙවෙයි උතුම් සේවයක්. අමිල කැපකිරීමක්. එවැනි රැකියාවක් වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද එය මම කරනවා. ඒ වෙනුවෙන් ඕන කැපවීමක් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. ගුරු වෘත්තිය මගේ ජීවිතේ කොටසක්.

l ඔබ වෘත්තිය වෙනුවෙන් ඔය තරම් කැපකිරීම් කරද්දී ඔබේ පාසලෙන් ඔබේ කලා කටයුතුවලට ලබාදෙන සහයෝගය ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම. මගේ පාසලේ සහෝදර ගුරුවරුන් වගේම විදුහල්පතිතුමිය මට විශාල සහයෝගයක් ලබාදෙනවා. මම අවුරුදු පහක කාලයක සිදුකළ ගුරු සේවය තුළ විදුහල්පතිතුමියන් තුන්දෙනකු සමඟ වැඩකරලා තියෙනවා. ඒ අය මගේ කලා කටයුතුවලට උපරිමයෙන් සහයෝගය ලබාදී තිබෙනවා. ඒ වගේම මගේ සහෝදර කාර්ය මණ්ඩලයත් මගේ කලා කටයුතුවල අඩුපාඩු පෙන්වමින් මාව විශාල වශයෙන් දිරිමත් කරනවා.

l ඔබ ක්ෂේත්‍රයට අවතීර්ණ වන යුගයේත් රංගනයට නව මුහුණු තෝරාගැනීමේදී වේදිකාව තුළ දස්කම් දක්වන අයට විශේෂත්වයක් තිබුණා. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා නේද?

ඔව්! ඒ කාලෙ එහෙම තමයි ශිල්පීන් තෝරා ගත්තේ. මට වුණත් අවස්ථාව ලැබුණේ මම නාට්‍ය පාසලේ දැක්වූ දස්කම් හා යසෝදරා වේදිකා නාට්‍යයේ දැක්වූ කුසලතා සැලකිල්ලට ගෙනයි. ඒත් දැන් එහෙම නැහැ. ලස්සන මුහුණත් තියෙනවනම් හිතවත්කමක් තියෙනව නම් අවස්ථාව දෙනවා. ඒ නිසා තමයි අද නළු නිළියෝ කැමරාව ඉදිරිපිට ඩමි (Dummy) බවට පත්වෙලා තියෙන්නේ. අපේ ප්‍රවීණ ශිල්පීන් ඉන්නව පිටපතේ තිබෙන දෙබස් ටික මුහුණේ ඉරියව්වලින් පෙන්නුම් කරනවා. ඒත් අද බිහිවෙන ඇතැම් ශිල්පීන් ලස්සන මුහුණ එක එක පැතිවලට හරවනවා හැර රඟපෑමක් කරන්නෙ නැහැ. සැබෑ දක්ෂයකුට දෙබස් පිටනොකර අවශ්‍ය කාරණාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්න ඕන.

l ටෙලි නාට්‍යයට, සිනමාවට මෙන් වේදිකාවට අලුත් රංගන ශිල්පීන් එක්වීම අවමයි නේද?

ඒකට හේතුවක් තියෙනවා. වේදිකාව මත බොරු කරන්න බැහැ. රංගනය ගැන හොඳ දැනුමක් හා අවබෝධයක් තිබෙන කෙනෙකුට පමණයි වේදිකාවෙ රඟපෑමට හැකියාව ලැබෙන්නෙ. වේදිකාව අති ප්‍රබල තැනක්. හොඳ ජවයක් තිබෙනවා. වේදිකාවෙ තරම් අති ප්‍රබල ජවසම්පන්න රංගනයක් වෙනත් කිසිම නිර්මාණයක දකින්න ලැබෙන්නෙ නැහැ.

l වේදිකාව හා ටෙලිනාට්‍ය යන අංශ දෙක තුළ තිබෙන වෙනස ඔබ දකින්නෙ කොහොමද?

වේදිකා රංගනය ප්‍රේක්ෂකයා සමඟ සජීවීව හුවමාරු කරගන්න දෙයක්. වැරදුණොත් වැරදුනාම තමයි. මොනම ආකාරයකින්වත් අඩුපාඩුවක් තියෙන්න බැහැ. මොකද වේදිකා නාට්‍ය නරඹන පිරිස තුළත් හොඳ රසවින්දනයක් වගේම අවබෝධයක් අධීක්ෂණයක් තිබෙනවා. අනිත් කාරණාව තමයි වේදිකා නාට්‍යයක කතා පිටපත අපට ලැබෙනවා. එහි මුල, මැද, අග පිළිබඳ අපි දන්නවා. ඒ අනුව අපට ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන්න හැකියාව ලැබෙනවා. අපට ලැබුණ චරිතය හොඳට අධ්‍යයනය කර අත්හදාබැලීම් මත සමාජය අධ්‍යයනය කර ඒ සඳහා අවශ්‍ය වචන උච්චාරණ, මුහුණේ ඉරියව්, පුද්ගල හැසිරීම් උපයෝගී කරගෙන චරිතය පෝෂණය කරන්න පුළුවන්. ඒත් දැන් හැදෙන ටෙලි නාට්‍යවලට එහෙම කැපවීමක් කරන්න අවස්ථාවක් නැහැ. පිටපතක් නැහැ. අඩුම තරමේ අපි කරන චරිතෙ ඉදිරිය ගැනවත් අපි දන්නේ නැහැ. ඉතින් කොහොමද චරිතයට අවතීර්ණ වෙන්නේ. සෙට් එකට ගියාම තමයි කරන්න ඕන දේ තියෙන්නේ. දැන් බිහිවෙන ටෙලිනාට්‍ය ශිල්පීන් හරියට දෛනික කම්කරුවො වගෙයි. නිර්මාණයට තැන දෙන්නෙ නැහැ. මුදලටයි කාලයටයි වැඩ කරන්නෙ.

l වර්තමානයේ ඔබ ටෙලිනාට්‍යවලින් මදක් ඉවත් වූ බවක් පේනවා නේද?

ඔව්! ඒකට හේතුව හොඳ නිර්මාණ බිහිවීමේ අඩුව. මට සෑහීමකට පත්විය හැකි නිර්මාණවල අඩුවක් තියෙනවා. විවිධ චරිතවලට ආරාධනා ලැබුණත් මට ඒවා භාරගන්න බැහැ. මොකද මම වෘත්තීය ගුරුවරියක්. එහි ගෞරවය රැකෙන පරිදි තමයි මම චරිත තෝරගන්නේ. වේදිකා නාට්‍යවලටනම් මම මේ වනවිටත් දායක වෙනවා. මේ දිනවල සාර්ථකව වේදිකාගත වන ‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යයේ මම ටානිගේ ප්‍රධාන චරිතය රඟපානවා.

l අයේෂා දිසානායක දායකත්වය දක්වන ඉදිරි කලා නිර්මාණ මොනවද?

ටෙලිනාට්‍ය කීපයකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා හොඳ නිර්මාණ වශයෙන් මට භාරගන්න පුළුවන් වුණා. ඊට අමතර බුද්ධික දමයන්තගේ නවතම වේදිකා නාට්‍යයේ වැඩ කරන්න සූදානමින් ඉන්නවා.

l ඔබ දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයටත් අත පොවා කියා ආරංචියි.

ඔව්! පුංචි ව්‍යාපාරයක් පටන්ගෙන තියෙනවා. අයේෂා ෆිල්ම් කියලා මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් පටන්ගෙන තිබෙනවා. මම දැනට වීඩියෝ කීපයක්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉදිරියටත් හොඳ නිර්මාණ කරනවා. ඊට අමතරව මම නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයක වැඩ ආරම්භ කරන්නත් සූදානමින් පසුවෙනවා.

l අයේෂා ඔබ මෙතෙක් ආ ගමන පිටුපස ඔබට ශක්තිය දුන් අය කවුද?

සමන් සොයිසා ගුරුපියාණන් සහ කථිකාචාර්ය මංගල සේනානායක මහත්වරු තමයි මට මේ මාවත විවර කළේ. මගේ අම්මා ආරියලතා. තාත්තා රාජා දිසානායක ‍වගේම ධර්මසේන පතිරාජ, කේ. බී. සර්, ජානක සිරිවර්ධන, අනුර ජයසිංහ, ගිහාන් ප්‍රනාන්දු යන මහත්වරු මගේ ගමනට ශක්තියක් වුණා. මගේ නංගි හා ඇගේ සැමියත් මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලු ආචාර්ය මණ්ඩලයත් මට විශාල ශක්තියක්

SHARE