චම­රිගේ නොදැ­වුණු ඉනිමේ චම­ත්කා­රය

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කරන ක්‍රිකට් ලෝලීන්ගෙ ක්‍රිකට් නැරඹීමෙ, ක්‍රිකට් ගැන වාද විවාද, කතාබහ කිරීමේ පිස්සුව එහෙමත් නැත්නම් ක්‍රිකට් උණ හොඳින්ම දැනුණු කාලවකවානුව තමයි 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය.
ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා ඔස්ට්‍රේලියාවෙ තිබුණු බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියෙදි, සාජා හි තිබුණු සිංගර් චැම්පියන් කුසලාන තරගාවලියෙදි අපේ ආරම්භක පිතිකරුවන්ගේ වේගවත් පහරදීමේ නව රටාවත් සමඟ බිහිවුණු සනත්, කලුවිතාරණ සම්බන්ධතා නරඹන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් උමතුවෙන් වගේ රූපවාහිනී තිර ඉස්සරහ රැස්කෑවෙ. සනත් – මහානාම, සනත් – හතුරුසිංහ ආරම්භක සම්බන්ධතා, එක්දින ක්‍රිකට් ඉතිහාසයෙ අලුත්ම පහරදීමේ ශෛලියක් බිහිකළා. පළමුවන පන්දු වාර දහය ඇතුළත වේගයෙන් ලකුණු රැස්කිරීමේ කලාව ක්‍රිකට් ඉතිහාසයට එකතු කළේ අපේ ආරම්භක පිතිකරුවන් කියල මට හිතෙනවා.

ලෝක කුසලානය දිනාගෙන අර්ජුන රණතුංග එයාගෙ හමුදාව එක්ක ශ්‍රී ලංකාවට ආපු දවස්වල ගෙදර දොර, කාර්යාලයෙ, බස් නැවතුමේ, දුම්රියපොළේ, කඩ සාප්පුවක, පාසලක, සරසවියක, යුද ගිනි වැදී තිබුණු උතුරෙ එල්. ටී. ටී. කඳවුරක පවා අපේ ක්‍රිකට් වීරයන් ගැනමයි කතාව. අයියෝ සනත් අවුට් වුණාද, කළු රනවුට් වුණාද, මුළුතැන්ගෙයි උයමින් පිසිමින් ඉන්නා ගෘහණියක් ළිප තැබූ මාලුව රොස්වෙද්දී රූපවාහිනිය ළඟට දුවගෙන විත්, සනත්ලාගේ, කලුවිතාරණලගෙ, අරවින්ද, අර්ජුන‍ලගෙ ක්‍රිකට් නරඹපු අතීතයට අද මොකද වෙලා තියෙන්නෙ කියල කල්පනා වෙනව.

ක්‍රිකට් දේශපාලනයට ගොදුරු වෙලාද නැත්නම් දේශපාලනය ක්‍රිකට් ගොදුරු කර‍ෙගනද කියල හිතාගන්න බැරි තරමට අපේ ක්‍රිකට් ක්‍රීඩාව පහුගිය දශක කීපයෙ ඇදවැටිල තියෙන්නෙ. ක්‍රිකට් නැරඹීමේ උණෙන් පෙළිච්ච උන්මාදයෙන් පෙළුණු ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් එපා කරවමින්, ඉස්සර ක්‍රිකට් ගැන පත්තරයට පළවුණු සංවාද විසංවාද වෙනුවට අද තියෙන්නෙ ඕපදූප. ඇමතිවරුන්ගෙ, පන්දු යවන්නන්ගෙ ක්‍රිකට්වලට අදාළ නැති මඩ සහිත කතා. එහෙමත් නැත්නම් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ලිංගික ජීවිතය ගැන පළවෙන ඕපදූප, යට ඇඳුම් සේදීම්, වීඩියෝ පට. ඒත් ඒ කිසි දෙයක් ක්‍රිකට් නෙවි මහත්වරුනි කියලයි කියන්න වෙන්නෙ.

දේශපාලනය වගේ ම ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් අපේ ර‍ටේ හුඟක් දෙනාගෙ හැසිරීම සමානයි කියල මට හිතෙනව එක වෙලාවකට. දේශපාලනඥයෝ අවුරුදු හයෙන් හයට, කාලෙන් කාලෙට සුරංගනා ලෝක මවන්න දෙන පොරොන්දු විශ්වාස කරල බලයට පත්කරල, ඊට පස්සෙ ඡන්දෙ දීපු මිනිස්සු අමතක කළත්, මිනිස්සු දේශපාලනඥයො අත අරින්නෙ නෑ. මැතිවරණයක් ළංවෙනකොට ආපහු කාටහරි වැඩ. ක්‍රිකට් ගැනත් අපේ හුඟ දෙනාගෙ ආකල්පය ඒ ව‍ගේ.

අන්තිම සවුත්තු විදියට පරාද වෙනකොට ක්‍රිකට් පිස්සුව හැදුණු අපේ අය කියන්නෙ මීට පස්සෙ නම් ආපහු අපි සෙල්ලම් කරන මැච් එකක් බලන්නෙම නෑ කියලා. ඒ මොනව කිව්වත් මෙන්න ආපහු ක්‍රිකට් ටූනමන්ට් එකක් පටන් ගත්තොත් පරණ කතා ඔක්කොම අමතක කරල, ක්‍රිකට් උණ බෝකරගන්නව. ජූනි මාසෙ එංගලන්තෙදි ඉවරවුණු ශූරයන්ගෙ කුසලාන තරග ටික ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් උණ රෝගීන්, බලාගෙන හිටියෙ පරණ අවුරුදු ගාණක ක්‍රිකට් එපාවෙලා තිබුණ කියන මතකය ඔළුවෙන් අයින් කරගෙන.

අවසාන තරගෙට එන්න සුදුසුකම් ලබන්න ඔන්න මෙන්න කියල අතේ තිබුණු ජයග්‍රහණය පකිස්තානුවන්ට පූජා කළ තරගෙ බලාගෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ඒ රාත්‍රිය ක්‍රිකට් එපාම කරවපු රාත්‍රියක් වුණා. මාලිංගගෙන්, තිසර පෙරේරගෙන් අත ඇරුණු උඩ පන්දු රැකගත්ත නම්, අපි අවසාන තරගයට එනව සත්තයි කියලයි බලන් හිටියෙ. ඒත් එදා එපාවුණු ක්‍රිකට් බලන්න අපේ ක්‍රිකට් ලෝලීන් ආපහු සැරසුණේ නැද්ද සිම්බාබ්වේ වගේ කණ්ඩායමක් ඇවිත් තරගාවලිය පටන් ගත්තම? පළමුවෙනි තර‍ගෙන් පරාද වුණාම, ආපහු ටීම් එකට පතුරු යන්න බැනපු කට්ටිය දෙවනි තුන්වෙනි මැච් බැලුවෙ පරණ මතක අමතක කරලා. අපේ ක්‍රිකට් ගැන මිහිරි අමිහිරි මතක අතරෙ ඉන්න මො‍හොතක අපට අහන්න ලැබෙන සුන්දරතම ප්‍රවෘත්තියකින්, ක්‍රිකට්වලට කැමති, ශ්‍රී ලංකාවාසී හැමෝගෙම සිත් සතුටින් පිරිලා ගියා. ඒ අපේ ක්‍රිකට් ගහන කෙල්ලන්ගෙ කණ්ඩායමෙන් අහන්නට ලැබුණු විස්මයජනක වාර්තාවක් පිළිබඳ ප්‍රවෘත්තියකින්.

පහුගිය මාසෙ ඉඳල පටන් ගත්ත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියෙදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු පිතිකාරී චමරි අතපත්තු අපේ කාන්තා ක්‍රිකට් ඉතිහාස පොතට එකතු කළ අපූරු වාර්තාව නිසා. චමරි ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ජූනි 29 දා එංගලන්තයෙ බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙදි නොදැවී ලකුණු 178 ක් ලබා ගනිමින් පිහිටවපු ලෝක වාර්තාව, තුන්වැනි වන්නෙ ඔස්ට්‍රේලියාවෙ බෙලින්ඩා ක්ලාර්ක් (ඩෙන්මාර්ක් කණ්ඩායමට එරෙහිව ලබාගත් 229) හා ඉන්දියාවෙ දීප්ති ශර්මා (අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් 188) ට පමණයි.

චමරිගෙ 178, නොදැවුණු ලකුණු සහිත වාර්තාවක්. ඊටත් වඩා මේ වාර්තාවෙ අගය වැඩිවෙන්නෙ, පළමු වාර්තා දෙකම ඩෙන්මාර්කය, අයර්ලන්තය වගේ වර්ගීකරණයේ පහළ ඉන්න රටවල්වලට එරෙහිව වීමත්, චමරිගෙ වාර්තාව ලෝක ශූරී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වීමත් නිසා. චමරිගෙ ලකුණු 178 සැදෙන්නෙ හතරේ සීමාව ඉක්මවූ පහරවල් 22 න් හා ඊටත් ඉහළින් එල්ල කළ හයේ පහරවල් හයකින් (22×4 + 6×6). චමරිගෙ මේ පහරවල් එකක්වත් ආවට ගියාට එල්ල කළ හෝ කණා වැදිච්ච පහරවල් නොවන බව, චමරිගෙ ඉනිම ඇතුළත් වීඩියෝව නරඹනකොට පේනවා. පන්දු 143 කදී 178 ක් ගන්නව කියන්නෙ ඇගේ පහරදීමේ ප්‍රතිශතය 124.47 ක්.

ක්‍රිකට් එපාවෙලා හිටපු ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මඳ අස්වැසිල්ලක්වත් චමරි ගෙනාවත්, ඒ තරගය ජය ගන්න ශ්‍රී ලංකාවෙ කෙල්ලන්ට බැරි වුණා. ඒත් අපි ලෝක වාර්තා පොතේ නමක් තැබුවා නේද කියන ආඩම්බරය චමරි අපට ලබා දුන්නා. අපේ රටට ලබා දුන්නා. කණ්ඩායම ලකුණු 257 ක් රැස්කරනකොට චමරි ඉන් ලකුණු 178 ක් ගත්ත කියන්නෙ, කණ්ඩායමේ ඉතිරි දහදෙනාම එකතු කරගෙන තියෙන්නෙ ලකුණු 79 ක් විතරයි. චමරිගෙ නිර්භීත ඉනිමෙ චමත්කාරයට වඩා වටිනාකමක් ඉන් පේනවා.

කවුද මේ චමරි අතපත්තු? ඈ අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී. 1990 පෙබරවාරි 09 දා ඉපදිලා ගොකරැල්ල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන තියෙන්නෙ. 2009 දී ටී – 20 කණ්ඩායමට ඇතුළුවන චමරි 2010 දී තමයි ඕවර 50 ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගන්නෙ. සීමිත ඕවර තරග 61 දී ලකුණු 1906 ක් රැස්කරගෙන ඉන්න චමරි ටී – 20 තරග 58 දී ලකුණු 1001 ක් එකතු කර ගන්නවා. එංගලන්තයේ බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී නොදැවී ලබාගත්ත 178 ශතකයට පෙර චමරි ශතක දෙකක්ම ලබාගෙන තියෙන්නෙ 2011 දී අයර්ලන්තයට එරෙහිව 111 ක්, 2014 දකුණු අප්‍රිකාවට එරෙහිව 106 ක් වශයෙන්. චමරිගෙ ක්‍රිකට් ජීවිතය පිටුපස හෙවනැල්ල වගේ ඉඳල තියෙන්නෙ ඇගේ තාත්තා. එයා ක්‍රිකට් ලෝලියෙක්.

චමරිට අවශ්‍ය ධෛර්යය ලබා දුන් තාත්තා වෙනුවෙන් එයාගෙ ලෝක වාර්තාව පුදනව කියල චමරි කියනවා. අවුරුදු 10 ට කලින් හදිසියේ චමරිගෙ තාත්තා නැති වුණත් විශ්‍රාමික හෙදියක් වුණු අම්මා ඈට ශක්තියක් වෙනවා. 2016 ටී – 20 තරගාවලියකදී නායිකා ශෂිකලා අසනීප වූ මොහොතක චමරි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසත් ක්‍රීඩා කරල තියෙනවා. චමරී වමත් පිතිකාරියක්. ඇගේ පිතිහරඹයේ දක්ෂකම් පිටුපස ඉන්න පුහුණුකරුවන් දෙපොළ මතක් කරන්නට ඈ අමතක කරන්නෙ නෑ.

හේමන්ත දේවප්‍රිය වගේම ජීවන්ත කුලතුංගත් ඇගේ ක්‍රිකට් ගමනේ යෝධ ශක්තියක් ලෙස චමරි සලකනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙ ඇගේ ආදර්ශ චරිතය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම පහරදෙන්නෙක් විදියට ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ ගෞරව සම්මානයට පාත්‍ර වී සිටින කුමාර සංගක්කාර. ඈ ඔහුගේ ක්‍රීඩා විලාසය අනුගමනය කරනවා. චමරි පවසන්නේ, ඈ පිතිකරණය ආරම්භ කරන්නෙ කුමාර් සංගක්කාර වගේ කියලා. පළමුවෙනි පන්දුවාර 25 – 30 අතරෙදි ඉඳහිට හතරේ සීමාවට පහරක් ද ඇතුළුව තනි ලකුණු ගැනීමට උත්සාහ කරනවා.

ඊට පස්සෙ පවර් ප්ලේ පන්දු වාරවලදී ප්‍රහාරත්මක පහරවලට යන්නට ඈ උත්සාහ කරන බවයි; චමරි නොදැවී එක්කළ 178 වාර්තාවෙන් පස්සෙ කිව්වෙ. චමරිගෙ වේගවත් ප්‍රහාරාත්මක පිතිහරඹයට ඇගේ ආදර්ශ ක්‍රීඩකයා වන්නේ සනත් ජයසූරිය. ඔහුගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා ශෛලිය, චමරිගෙ යෝධ හයේ පහර එල්ල කිරීමේදී අපට පේනවා. ඈ කිසිම ගරුසරුවක් නැතුව ලෝක ශූරියන්ට පහර දුන් විදිය දැක්කනම්, ඔබ ඇයට ආදරේ කරනව සත්තකින්ම.

ඇගේ වේගවත් පිතිහරඹය වගේම ලෝක වාර්තාව පිළිබඳවත් සතුටට පත්වුණු සනත් ජයසූරිය වගේම කුමාර සංගක්කාරත් ඈට සුබ පතනවා ට්විටර් (Twitter) පණිවුඩ මඟින්. චමරි මෙවර ලෝක කාන්තා ක්‍රිකට් ශූරතාවයට ශ්‍රී ලංකාව ඇතුළුවීමේ වරම දිනාගන්න තිබුණු තීරණාත්මක තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලබාගත් ලකුණු 84 ත්, ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්. එදා ශ්‍රී ලංකාව පරාජය වුණා නම්, තරගාවලියට සහභාගිවීමේ සුදුසුකම අපට අහිමි වෙන්න තිබුණා. ශ්‍රී ලංකා කාන්තාවො ක්‍රීඩා කරපු හැම තරගෙකින් ම පාහේ පරාජය වුණත් ඔවුන් සටන්කාමීව ක්‍රීඩා කළා. ඉන්දියාව සමඟ තරගය ඊට නිදසුන්.

අපේ චමරි එයාගෙ පන්දුවට පහරදීමේ විලාසය (style) ගැන මතක් කරන්නෙ, අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ටයා, කුමාර් සංගක්කාර. ප්‍රහාරත්මක පහරදීමේදී නම් චමරි මතක් කරන්නේ, අපේ මාස්ටර් බ්ලාස්ටර් සනත්. චමරි ලංකාවෙ සංගක්කාරව සිහිපත් කරනකොට මේ සැරේ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට ගිහින් ඉන්න ඉන්දීය කණ්ඩායමේ ළාබාල ක්‍රීඩිකාවක් වන අවුරුදු විස්සක් වයසැති ස්ම්‍රිට් මධානාත් කියන්නෙ එයාගෙ ආදර්ශ ක්‍රීඩකයා සංගා කියලයි. මධානාත් සංගා වගේම වමත් පිතිකාරියක්, ආරම්භක.

එංගලන්තෙ මේ දවස්වල පැවැත්වෙන තරගාවලියෙදි තරග දෙකකදී ලකුණු 196 ක් ගන්නා මධානා බටහිර ඉන්දීය කොදෙව්වියන්ට එරෙහිව ශතකයකුත් ලබා ගත්තා, ශතකය 106 ක් පන්දු 108 කදී. එංගලන්තයත් එක්ක පළමු තරගෙදිම මධානා ලකුණු 90 ක් ගන්නෙ පන්දු 72 කදී. මධානාගෙ පුහුණුකරු, අනට් තම්බ්වෙකාර් කියන්නෙ මධානා අපේ සංගගෙ උග්‍ර රුචිකාවියක් (fan) කියලා. ඈ පුහුණුවීම්වලදී නිතරම සංගව අනුකරණය කරන නිසා පුහුණුකරුගෙන් බැණුම් අහපු වාර අනන්තයි කියල ඔහු කියනවා. ඒ වුණත් මධානා, සංගාගෙ පහරදීමේ ශෛලියට හුඟක් කැමති බවත්, ක්‍රීඩකයෙක් විදියට ඇයට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙක් බවත් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර තියෙනව. චමරි අතපත්තු මධානාට වඩා වයසින් වැඩි, පළපුරුදු ක්‍රීඩිකාවක් වුණත් ඈ ආදර්ශයට ගන්න ජ්‍යෙෂ්ඨයන් සිහිපත් කිරීමේ නිරහංකාර ගුණය සතු ක්‍රීඩිකාවක්.

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පැරණි විභූතිය කෙමෙන් මැකීගෙන යද්දී කාන්තා කණ්ඩායමේ චමරි වැන්නියක් තම පිත්තෙන් පාන පෙළහර විස්මිතයි. අපූර්වයි. චමත්කාරයි. චමරි ඔබ චමත්කාරයි. ඔබේ පිතිහරඹය ආනන්දජනකයි. ඒනිසාදෝ මුහුණු පොතට කොමෙන්ටුවක් දාන්නෙක් යෝජනා කරල තිබුණෙ බැරිද අපිට චමරිව දාන්න සිම්බාබ්වේ තරගාවලියෙ සාමාජිකාවක් විදියට කියලා. චමරි අතපත්තු සහෝදරී, ගොකරැල්ල වගේ ඈත පිටිසර ගමකින් ඇවිත් ලෝක වාර්තාවක් පිහිටවපු ඔබ ගැන අපි ආඩම්බරයි. අපි ඔබට ආදරෙයි

SHARE