සොහො­යු­රි­යන් තිදෙ­නාගේ මොස්කව් සිහි­නය

හමුදා ජනරාල්වරයකු සිටි ප්‍රොසොරොෆ්ගේ ඇවෑමෙන් පසු ඔහුගේ දියණියෝ තිදෙනා සහ එකම පුතා, මොස්කව් පුරයෙන් නික්ම ප්‍රාදේශීය කුඩා නගරයක වෙසෙන්නට එති.

නාගරික පන්නයේ තරුණියන් තිදෙනාට මේ නගරයේ ඇවතුම් පැවතුම් නුරුස්සයි. ඔවුන් උගත් ප්‍රංශ, ජර්මන් වැනි විදෙස් බස් කතා කළ හැකි අය මෙහි නැත. සංගීතය, දර්ශනය වැනි විෂයයන් කතිකාවට සුදුසු උගත්තු ද මෙහි නොවෙති. ඔවුන්ගේ ආශ්‍රයට යම් තරමකින් හෝ ගැළපෙන්නේ නගරයේ හමුදා සේනාංකයේ නිලධාරීන් පමණි.

යළි මොස්කව්පුර වාසයට යාම මේ තරුණියන්ගේ බලාපොරොත්තුවය. තම සොහොයුරු ආන්ද්‍රේ, සිය අධ්‍යාපන කටයුතු සපුරාලීමෙන් පසු මහාචාර්ය පදවියක් සඳහා මොස්කව් යනු ඇතැයි ඔවුහු සිතති. එමඟින් ඔවුන්ගේ සිහින සැබෑ වනු ඇත.

ඇන්ටන් චෙකොෆ්ගේ ‘සහෝදරියන් තිදෙනා’ (Three Sisters) නාට්‍යයට පසුබිම් වනුයේ මෙකී පවුල් පරිසරයයි.

චෙකෝෆ්ගේ අනෙක් නාට්‍ය මෙන් ම මෙය ද මන්දගාමී රිද්මයකින් යුතුය. ජීවිතය එලෙසින්ම වේදිකාව මත නිරූපණය විය යුතුය යන මතයේ පිහිටා සිටි හෙයින් ඔහුගේ නාට්‍ය ඉල්ලා සිටියේ ස්වාභාවිකවාදී රංග ශෛලියකි.

මුල් දර්ශනවලදී රුසියානු ප්‍රේක්ෂකයන්ට ද චෙකෝෆ් නාට්‍ය හසුකර ගත නොහැකි විය. දක්ෂ කෙටිකතාකරුවකු වුවද, නාට්‍ය රචනයෙහිදී ඔහුට කුමක් හෝ වැරදීමක් සිදු වී ඇතැයි ඔවුහු කල්පනා කළහ. චෙකෝෆ් නාට්‍ය තුළ සැඟව තිබූ නාටකීය ගුණය, රිද්මය, මිනිසත් බව, අපූර්ව චරිත ලක්ෂණ ප්‍රේක්ෂාගාරයට දැනෙන්නට මඳ කලක් ගත විය. විශේෂයෙන් ම කොන්ස්ටන්ටයින් ස්ටැනිස්ලව්ස්කි හා ව්ලද්මීර් ඩෙම්චෙන්කෝගේ මොස්කව් තියටර් නිෂ්පාදනයත් ඊට උපකාරී විය.

1900 දී චෙකෝෆ් ලියූ ‘සහෝදරියන් තිදෙනා’ තවමත් ලොව පුරා රඟ දැක්වෙයි. රංග කලා ශිෂ්‍යයෝ එහි පෙළ හදාරති. සහෝදරියන් තිදෙනා වන ඔල්ගා, මාෂා හා අයිරිනාගේ චරිත නිරූපණයෙහිලා ලෝකයේ විශිෂ්ටතම නිළියෝ මහත් ආශාවෙන් ඉදිරිපත් වෙති.

නාට්‍ය ඇරඹෙන්නේ ප්‍රාදේශීය නගරයේ නිවසේ විසිත්ත කාමරයේ දර්ශනයකිනි. එය හොඳින් හිරු එළිය පතිත, ප්‍රබෝධමත් දිනයක දිවා කාලය බව චෙකෝෆ් විස්තර කරයි.

නගරයේ උසස් පාසලේ ගුරුවරියක ‍වන ඔල්ගා, ‍මේසයක් අසල හිඳ ළමයින්ගේ අභ්‍යාස පොත්වල හරි වැරදි බැලීමේ යෙදී සිටී. මාෂා අසුනක හිඳ පොතක් කියවයි. සුදු ඇඳුමකින් සැරසී සිටින අයිරිනා, සිටගත්වනම කල්පනාවෙහි යෙදෙයි. එක්වරම ඔල්ගා කතා කරන්නට වෙයි.

“තාත්තා මැරුණෙ අවුරුද්දකට ඉස්සෙල්ලා – හරියටම අද වගෙ දවසක – මැයි මාසෙ පස්වෙනිදා – අයිරිනගේ නම් තියපු උත්සව දවසෙම… මිනිය සොහොනට ගෙනිච්චෙ බෑන්ඩ් වාදනයත් එක්ක. තාත්තා ජෙනරාල් කෙනෙක් වුණත් එදා ඒ හැටි සෙනඟක් හිටියේ නෑ. තදින්ම වැස්ස තිබුණා. හිම වැටුණා.”

“දැන් මොනවටද ඕවා මතක් කරන්නේ” යැයි අයිරිනා තම සොයුරියට බාධා කරයි. එහෙත් ඔල්ගා දිගටම කතා කරගෙන යයි.

සහෝදරියන් තිදෙනාගෙන් දෙදෙනකු අවිවාහකය. දෙවැනි සොයුරිය මාෂා, තුරුණු වියේදීම විවාහ වී සිටී. ඇගේ සැමියා වන පියදෝර් කුලිගින් ගුරුවරයෙකි. ඔල්ගා ගුරු වෘත්තියෙහි යෙදී සිටියද ඉන් තෘප්තියක් නොලබයි. බාල සොයුරිය අයිරිනා සැබෑ ප්‍රේමයක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවෙයි.

නාට්‍ය ඇරඹෙන්නේ අයිරිනාගේ විසිවැනි උපන් දිනය (ආගමිකානුකූලව ‘Name day’) දාය. පවුලේ සාමාජිකයන් හැරුණු විට ඊට සහභාගි වන්නේ හමුදා සේනාංකයේ නිලධාරීන් ය.

ඒ අතුරින් අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් වර්ෂිනින්, නාට්‍ය පුරාම කැපී පෙනෙන චරිතයක් වෙයි. ඔහු, මොස්කව් නුවර සිට පැමිණියකු වීම සොයුරියන්ගේ සිත් ගනී. එසේම හමුදාවට බැඳුණු අවධියේ ඔහු සේවය කොට ඇත්තේ ජෙනරාල් ප්‍රොසොරොෆ් යටතේය. “මම ඒ කාලේ ඔයගොල්ලන්ගෙ මොස්කව් ගෙදරටත් ආපු ගිය කෙනෙක්. එතකොට ඔය තුන්දෙනා පොඩි ළමයි” වර්ෂිනින් කියයි. මාෂා, ඔහුට සමීප වෙයි. ඊට බලපාන්නේ ඔවුන් දෙදෙනම තමන්ගේ අසාර්ථක විවාහ ජීවිතයන් පිළිබඳව දොම්නසින් පසුවීම ය. සොලියෝනි නමැති කපිතාන්වරයා හා ලුතිනන් තුසෙන්බව් යන දෙදෙනාම අයිරිනාට පෙම් බඳිති.

සොහොයුරියන් තම සොයුරු ආන්ද්‍රේ ගැන තැබූ සිහින බිඳ හෙළමින් ඔහු සූදු අන්තුවකු බවට පත්වෙයි. දස අතේ ණය වෙයි. මහාචාර්යවරයකු වීමට මොස්කව් යතැයි බලාපොරොත්තු වූ ආන්ද්‍රේ, නගරයේ ප්‍රාදේශීය සභාවේ ලිපිකරුවකු බවට පත් වෙයි. ඔහු විවාහ වන්නේ ද එම කුඩා නගරයේම හැදුණු වැඩුණු නටාෂා නම් තරුණියක සමඟය. ඇය සොයුරියන්ගේ දියුණු සංස්කෘතික ගතු පැවතුම් සමඟ නොපෑහේ. ඔවුනතර ගැටුම් ඇතිවේ. එහෙත් නටාෂා ක්‍රම ක්‍රමයෙන් නිවසේ පාලනය සියතට ගනී.

අයිරිනා හා තුසෙන්බව් අතර ඇතිවන සමීප සබඳතාව ද අවසන් වන්නේ ඛේදවාචකයකිනි. තුසෙන්බව්, ද්වන්ධ සටනකින් මිය යයි.

නගරයේ එක් කොටසක ඇතිවන ගින්න ද මෙම නාටකයේ රිද්මය වේගවත් කරවන තැනකි.

නාට්‍ය අවසානයේ, හමුදා සේනාංකය නගරයෙන් නික්මෙයි. සෙබළ මුළු සමඟ ගමන් කරන හමුදා තූර්ය වාදක මණ්ඩලයේ සංගීත රාවය ඈතින් ඇසෙයි. දොම්නසින් හා අපේක්ෂා භංගත්වයෙන් යුතුව, නිකරුණේ ගෙවී ගිය තුරුණු විය, ප්‍රොසොරොෆ් නිවස තුළ සුසුම්ලයි. අවසානයේ ඔල්ගා තම සොයුරියන් දෙදෙන වටා දෑත් යවා ළංකරගෙන මෙසේ කියයි.

“… අවුරුදු ගණන් ගතවෙලා ගිහින් අපි සේරම අපේ මුහුණු – කටහඬ අමතක වෙලා යාවි. එක කාලෙක අපි මෙහෙ හිටිය වගක්, මිනිස්සු දන්නෙවත් නැති වේවි. ඒත් ජීවිතේ තාම අවසන් වෙලා නෑ… අර බෑන්ඩ් සංගීතේ කොච්චර ප්‍රීතිමත් ද… සමහර විට අපිට දැනගන්න පුළුවන් වේවි ඇයි අපි දුක් විඳින්නෙ, ජීවත්වෙන්නෙ කියලා… අනේ අපි ඒක දැනගෙන හිටිය නං…”

අපේක්ෂාව හා අපේක්ෂා භංගත්වය, ප්‍රේමය සහ විරහව, ආධ්‍යාත්ම විනාශ කර දමන විවාහ වැනි සිදුවීම්වලින් ගහණ ජීවිත පිළිබඳව චෙකෝෆ් අපට පිරිනමන්නේ තියුණු හා ඉතා සියුම් අත්දැකීමකි.

චෙකෝෆ් මේ නාටකය ලියූවේ රුසියාවේ 1917 බොල්ෂෙවික් විප්ලවයට වසර 17කට පෙරය. අනාගත රුසියාවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ සියුම් ඉඟි ද එහි දැකගත හැකිය.

‘සොහොයුරියන් තිදෙනා’ නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නාට්‍යවේදිනියක වන කැටී මිචෙල් (Katie Mitchell) කළ පර්යේෂණයකට අනුව ‘සහෝදරියන් තිදෙනා’ නාට්‍යය ලිවීම සඳහා චෙකෝෆ් නිර්මාණාභාෂය ලබන්නට ඇත්තේ, එළිසබත් ගැස්කල් (1810- 1865) ලියූ ‘The Life of Emile Bronte’ නමැති ග්‍රන්ථයෙනි. ඉංග්‍රීසි නවකතාකාරියක වන එමලි බ්‍රොන්ටේගේ පවුලේ ද සොයුරියන් තිදෙනෙකි. එක සොහොයුරෙකි. එමිලිද, චෙකෝෆ්ගේ මාෂා මෙන්, නිතර සිවුරුහම් බාන්නට (Whistling) පුරුදුව සිටි කෙනෙකි. චෙකෝෆ් එංගලන්තයේ බ්‍රොන්ටේ සොහොයුරියන්ව, මඳ වශයෙන් රුසියානුකරණයට (Slightly – de – Russified) ලක්කොට ඇතැයි මිචෙල් කියයි.

1970 දී ලෝරන්ස් ඔලිවියර් හා ජෝන් සිබෙල් එක්ව ‘සහෝදරියන් තිදෙනා’ සිනමාවට නැඟූහ. ඔලිවියර් එහි හමුදා වෛද්‍යවරයාගේ චරිතය රඟපෑ අතර, එය ඔහු අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ද විය.

2001 එඩින්බර්ග් කලා උළෙලේදී ‘සහෝදරියන් තිදෙනා’ ඔපෙරාවක් ලෙස ඉදිරිපත් කෙරුණි. පීටර් එටෝවෝගේ අධ්‍යක්ෂණයක් වූ එහි විශේෂය වූයේ සහෝදරියන් තිදෙනාගේ චරිත, නළුවන් විසින් ම (කබුකි රංග ක්‍රමයට) නිරූපණය කිරීමයි.

මෙම ඔපෙරාව සඳහා කොටස් දෙකකින් යුත් වාද්‍ය වෘන්දයක් යොදා ගැනුණි. වේදිකාව ඉදිරිපසින් වාදකයෝ 18ක් ද, දෙපසින් 50ක් ද හිඳ සිටියහ. එසැම බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (BBC), ස්කොට්ලන්ත සිම්පනි වාදක මඬුල්ලේ ශිල්පීන්ය.

මෙම නිෂ්පාදනයේදී එක් එක් සහෝදරියන් හා සහෝදරයා වෙනුවෙන් වෙන වෙනම සංගීත භාණ්ඩ මඟින් තේමා සංගීත ඛණ්ඩ නිර්මාණය කෙරුණි. ඔල්ගා වෙනුවෙන් බටනලාවය. මාෂාට ක්ලැරිනට් ය. අයිරිනා සඳහා කොර්ඇන්ග්ලේ (Coranglai) ය. ආන්ද්‍රේට බැසූන් (Basson) ය. ‘සහෝදරියන් තිදෙනා’ රුසියාවට පමණක් සීමා නොවේ. අද දවසේත්, ලොව පුරා එබඳු චරිත දැකගත හැකිය. චෙකෝෆ්ගේ ‘සහෝදරියන් තිදෙනා’ (සහෝදරයා ද සමඟ) අමරණීය වන්නේ ද එහෙයිනි.

SHARE