මාරාන්තික වෛරස දහය

වෛරස සහ වෛරස ආසාදන මනුෂ්‍යයන් අතරට පිවිසියේ වසර 12,000කට පමණ ඉහතදී බව විද්‍යාඥයෝ පවසති.

ඒ කාලයේදී මිනිසුන් හුදෙකලාවත්, ඉතා කුඩා කණ්ඩායම් හැටියටත් ජීවත් වුණු නිසා, වසංගත තත්ත්ව ඇති වූයේ නැත. එහෙත්, නූතන මිනිසා ජීවත් වන්නේ සමූහ හැටියට ය. මේ නිසා, වෛරස පැතිර යාම ඉතා ඉක්මන් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.වර්තමානය වනවිට ඩෙංගු වෛරසය නිසා අපත් මේ දවස්වල නිසා අප රට පීඩාවට පත්ව ඇත.නූතන මිනිසා මරණයට පමුණුවන්නට සමත් මාරාන්තික වෛරස දහයකි .ඒ අතර,ඩෙංගු වෛරසය ද ඇත.

1.එච්.අයි.වී.

මානව ප්‍රතිශක්ති ඌණකාරක වෛරසය හෙවත් එච්.අයි.වී., මනුෂ්‍යය සංහතිය නසා දමන්නට පහළ වුණු වෛරසයක් ලෙස හැඳින්වේ. මේ වෛරසයෙන් ආසාදිත තත්ත්වයට පත් මිලියන සංඛ්‍යාත පිරිසක් වසරකට මරු දකිති. එච්.අයි.වී. මඟින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇති කරන සංකූලතා නිසා, රෝගියාට ඕනෑම භයානක රෝගී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. එනිසා, රෝගියා දිනෙන් දින දුර්වල තත්ත්වයට පත්වේ. දියවැඩියාව සහ ඇදුම වැනි රෝගවලින් පීඩා විඳින, එච්.අයි.වී ආසාදිතයන්ගේ ආයු කාලය ඉතා කෙටි බව පැවසේ.

2. මාර්බර්ග් වෛරසය

මාර්බර්ග් වෛරසය ශරීරගත වීමෙන් ඇතිවන්නේ, මාර්බර්ග් වෛරස රෝගයයි. එය, මාර්බර්ග් රක්තපාත උණ වශයෙනුත් හැඳින්වේ. වෛරසයෙන් ආසාදිත තත්ත්වයට පත් වූවන්ට නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත්, රක්තපාතය ඇතිවී, මරණයට පත් වන්නට ඉඩ ඇත. මාර්බර්ග් රෝගය වැළැඳුණු කෙනකු මරණයට පත් වන්නේ,

හුදෙක් රක්තපාතය ඇතිවීම නිසා පමණක් ම නොවේ. ශරීර අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසාත් ආසාදිතයන් ජීවිතක්ෂයට පත් වේ. මේ භයානක වෛරසය ගැන පළමුවෙන්ම තොරතුරු වාර්තා වුණේ 1967 වසරේදී ය.

3. වසූරිය

වසූරිය ඇති කරන වෛරසය අද වනවිට මේ මිහිමතින් අතුගා දමා ඇත. එසේ වුවත්, 20 වැනි සියවසේදී පමණක් මිලියන 200ත් 500ත් අතර මිනිසුන් පිරිසක් වසූරිය නිසා ජීවිතක්ෂයට පත් වූ බව අමතක කළ නොහැකි ය. ක්‍රි.පූ. 10,000 තරම් ඈත අතීතයේදීත් පෘථිවිය මත වසූරිය තිබුණු බවට සාක්ෂි තිබේ. අවසන් වසූරිය රෝගියා ගැන තොරතුරු වාර්තා වුණේ 1977 වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා ය. වසූරිය වෛරසය ආසාදනය වූවන්ගේ මාර්ත්‍යතාව 95%ක් තරම් ඉහළ මට්ටමක පවතී.

4. එබෝලා වෛරසය

2013 – 2015 අතර කාලයේදී බටහිර අප්‍රිකා රාජ්‍යය කිහිපයක එබෝලා වසංගතය පැතිර ගියේ ය. වාර්තාවල දැක්වෙන අන්දමට එහි වෙසෙන පුද්ගලයන් 28,000කට අධික පිරිසක් එබෝලා වෛරසයෙන් ආසාදිත තත්ත්වයට පත්ව, 11,310දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එබෝලා හි මාර්ත්‍යයතාව 90%ක් පමණ බව වෛද්‍යවරු පවසති. එබෝලා වෛරසය ශරිරගත වීම නිසා, වමනය සහ පාචනය ඇතිවේ.

මළ සමඟ රුධිරය බැහැර වීම, දද දැමීම වැනි රෝග ලක්ෂණ ඇතිවන්නට ඉඩ ඇත. රෝගී තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙන විට, අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වන්නට පටන් ගනී.

එබෝලා වෛරසය පළමුවෙන්ම වාර්තා වුණේ 1976 වසරේදී සයරේ රාජ්‍යයෙනි.

5. එච්1එන්1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය

1918 ජනවාරි මාසයේ සිට 1920 දෙසැම්බර් මාසය අතර කාලපරිච්ඡේදයේ ලෝ පුරා එච්1එන්1 වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය බව දැක්වේ. එකල එය වසංගතයක්ව තිබිණ. මිලියන 500කට අධික ජනකායක් වෛසරයෙන් ආසාදිත තත්ත්වයට පත් වූහ. එච්1එන්1 වෛරසය නිසා ඇතිවන උණ රෝගය ස්පාඤ්ඤ උණ හැටියට හැඳින්වේ. එකී නම ලැබුණේ, යට කී කාලපරිච්ඡේදයේදී මිලියන 8කට අධික ස්පාඤ්ඤ ජාතිකයන් පිරිසක් එච්1එන්1 වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වීම නිසා ය. එච්1එන්1 වෛරසය ආසාදනය වීම නිසා, පුද්ගලකු ජීවිතක්ෂයට පත් වන්නට ඇත්තේ,සාපේක්ෂව අඩු අවදානමකි. එසේ වුවත්, එච්1එන්1 නිසා සිදුවන මාත්‍යතාව 2.5%ත් 50%ත් අතර පවතින බැව් අමතක නොකළ යුතු ය.

6. ජලභීතිකාව

සුනඛයන්, බළලුන්, වවුලන්, වඳුරන්, මුගටියන්, හෝතඹුවන් වැනි සතුන්ගේ සපාකෑම් නිසා ජලභීතිකා වෛරසය ශරීරගත වේ. වාර්තාවල දැක්වෙන ආකාරයට, ලෝ පුරා සිටින ජනයාගෙන් 55,000කට අධික පිරිසක් වසරක් පාසා ජලභීතිකා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වේ. වෛරසය ශරීරයට ඇතුළු වී, ජලභීතිකා ලක්ෂණ පෙන්වීමට මාසයත්, මාස තුනත් අතර කාලයක් ගතවන්නට පුළුවන. ඇතැම් අවස්ථාවක වෛරසය ශරීරගතවී සතියකින් පමණ රෝග ලක්ෂණ මතුවේ. ජලභීතිකා වෛරසයෙන් බලපෑම් ඇති වන්නේ, මොළයට සහ ස්නායු පද්ධතිට ය.

7. ඩෙංගු වෛරසය

මිනිසාට මදුරුවන් එල්ල කරන මාරාන්තික තර්ජන අතර ඩෙංගු රෝගයට හිමි වන්නේ සුවිශේෂ තැනකි. ලෝ පුරා වෙසෙන ජනයාගෙන් මිලියන 50ත්, මිලියන 500ත් අතර පිරිසක් වසරක් පාසා ඩෙංගු වෛරසයෙන් ආසාදනයට පත් වේ. මේ පිරිසෙන් 10,000ත් 20,000ත් අතර පිරිසක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත් වෙති. ඩෙංගු වෛරසයට එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මෙයට කලකට පෙරදී ය. එසේ වුවත්, එකී කටයුත්ත අද වනතුරුත් සාර්ථක වී නැත. එයට හේතුව, ඩෙංගු වෛරසය විවිධ මාදිලිවලින් පැවැතීම ය. විද්‍යාඥයන් ප්‍රකාශ කරන අන්දමට, මේ වන විට ඩෙංගු වෛරසයෙන් මාදිලි 47ක් පමණ සොයා ගන්නට සමත්ව තිබේ. ඩෙංගු වෛරසයෙන් ආසාදන වූ කෙනකු තුළ උණ, වමනය, හිසරදය ආදී ලක්ෂණ දකින්නට පුළුවන. එහෙත්, ඩෙංගු රක්තපාතික තත්ත්වය ඇති වූ විට, ශරීරයෙන් රුධිරය බැහැර වීමත්, රුධිර පීඩනය අන්තරාදායක මට්ටමකට පහළ වැටීමත් සිදුවේ.

8. හර්පීස් බී වෛරසය

හර්පීස් බී වෛරසය මිනිසාට බෙහෙවින්ම මාරාන්තික වෛරසයකි. ඉන් ආසාදනය වූ විට, මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවේ. ඊට නිසි ප්‍රතිකාර නොලැබුවහොත්, ස්නායු අකර්මන්‍යය වීම හෝ රෝගියා මරණයට පත් වීම හෝ සිදු වන්නට ඉඩ තිබේ. හර්පීස් බී වෛරසයෙන් ආසාදනය වූ රෝගීන් ගැන මුලින්ම වාර්තා වුණේ 1932 වසරේදී ය. එකල රෝගීන් 31දෙනකු ගැන තොරතුරු වාර්තා විය. මෙයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මේ වෛරසයෙන් ආසාදනය වීම එතරම් සුලභ නැත. වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ, වඳුරන් වැනි සතුන්ගේ සපා කෑම් මාර්ගයෙනි. රීසස් වඳුරන්ගෙන් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් මේ වෛරසයේ වාහකයන් බව අනාවරණය වී ඇත. හර්පීස් බී වෛරසය ආසාදනය වූවන්ට ශ්වසන අබාධ ඇති වේ. ඉන් පසු මස්පිඬු ආශ්‍රිත ආබාධ සහ තද උණ ඇතිවිය හැකි ය.

9. ලුජෝ වෛරසය

ලුජෝ වෛරසය එනමින් නම් කරන්නට හේතු වූයේ , 2008 වසරේදී සැම්බියාවේ ලුසාකාහිත්, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිත් ඇතිවුණු වෛරස පැතිර යාමේ තත්ත්වයකි. ලුසාකා යන නගර නාමයෙන් “Lu” යන ඉංග්‍රීසි අක්ෂර දෙකත් , ජොහැන්නස්බර්ග් යන නගර නාමයෙන් “jo” යන ඉංග්‍රීසි අක්ෂර දෙකත් යොදාගෙන ,“Lujo” (ලුජෝ) යන නම එසේ පැතිර ගිය වෛරසයට යෙදිණ. මේ වෛරසය ආසාදිත වූවන් පස් දෙනකු ගැන 2008 වසරේදී වාර්තා විය. එයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විද්‍යාඥයන් පවසන්නේ, මේ වෛරසය එබෝලා වෛරසයට තරමටම මිනිසා මාරාන්තික බවකි. ලුජෝ වෛරසයෙන් ආසාදනය වූවන් කෙරෙන් පළමුව මතුවන්නේ ද ශ්වසන අපහසුතා ය. ඉන් පසු වෛරසය ස්නායුවලටත්, රුධිර සංසරණ පද්ධතියටත් බලපෑම් කරයි

10.එච්5එන්1 (H5N1) ඉන්ෆ්ලුවෙන්සා වෛරසය

එච්5එන්1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කුරුලු උණ වෛරසය වශයෙන් ද හැඳින්වේ. මෙයින් ආසාදනය වුණු පුද්ගලයකු ගැන පළමුවරට වාර්තා වුණේ, 1907 වසරේදී ය. කුරුලු උණ වෛරසයෙන් ආසාදනය වුණු පුද්ගලයන්ගේ මාර්ත්‍යයතාව 60%ක් පමණ වේ. වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නේ පක්ෂීන්ගෙනි. ඉන්ෆ්ලුවෙන්සා ගණයට අයත් වෛරසයක් වුවත්, එච්1එන්1 වෛරසයට වඩා දස ගුණයකින් මිනිසා මරුමුවට රැගෙන යන්නට මේ වෛරසය සමත් බව, පර්යේෂණවලින් තහවුරුව තිබේ.

SHARE