පළමු රඟපෑමට ආරාධනාව ලැබුණෙ පාර පනින අතරෙ

ජාන්වී අප්සාරී අබේවර්ධන

දෝත දරා පැමිණි සහජ කුසලතාවට නිසි වටිනාකමක් අත්කර දෙමින් රංගනයේ යෙදෙන ඇය, වයස අවුරුදු පහමාරක ළමා නිළියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ දෝණිගේ චරිතයට පණ දෙමින්, කොයිකාගෙත් නෙත් සිත් ඇද බැඳගත් ජාන්වී අප්සාරී අබේවර්ධන නමැති පුංචි කටකාරියගේ වතගොත කතා කළෙමු.

පුංචි දෝණි. අපට ඔයා ගැන ටිකක් කියන්නකො?

මට තාම අවුරුදු පහයි මාස අටයි. මිනුවන්ගොඩ ආරංගාව ධම්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ එක ශ්‍රේණියෙ ඉගෙන ගන්නෙ. අම්මා නිලංකා නයනමාලි. අක්කා කෙනෙක් ඉන්නවා. එයාගෙ නම ලිතුලි මෙනාදි.

ඔයා මේ වෙනකොට කරලා තියෙන ටෙලි නාට්‍ය මොනවද?

මුලින් ම කළේ චාමර පීරිස් මාමගේ “ත්‍රිමාන” කියන නාට්‍ය. ඒක දැන් විකාශනය වෙනවා. ඒ වුණත් මුලින් ම විකාශනය වෙන්න පටන් ගත්තෙ “හාරකෝටිය”. “ත්‍රිමාන” එකේ තියෙන්නෙ “ෂෙනූ” කියලා චරිතයක්. ඒකෙ අම්මට ඉන්නෙ අරුණි මෙන්ඩිස්. තාත්තට ඉන්නෙ අංජන ප්‍රේමරත්න.

ITN එකේ විකාශය වුණු “ප්‍රාණ” ටෙලි නාට්‍යයේ “මතී”ගේ චරිතය කළෙත් මම.

ඔයා වෙළෙඳ දැන්වීම්වලත් ඉන්නවා නේද?

සිංහපුත්‍ර ෆයිනෑස් කම්පැනි එකේ වෙළෙඳ දැන්වීම්වල ඉන්නවා. ළමා ආරක්ෂක අධිකාරියෙන් කරපු වෙළෙඳ දැන්වීමකයි, තවත් වෙළෙඳ දැන්වීම් ටිකකයි මම හිටියා.මේ ළඟදි ලයිෆ්බෝයි වෙළෙඳ දැන්වීමයි, කිස්ට් කෝඩියල් වෙළෙඳ දැන්වීමකුයි කළා.

ඔයා තවම චිත්‍රපටවල රඟපෑවෙ නැද්ද?

A/L කියන චිත්‍රපටයෙ රඟපෑවා. මම ඒකෙ “සිහිනි” කියන චරිතයට තමයි රඟපෑවෙ.උමාලි තිලකරත්න සිහිනිගේ අම්මා, තුමිදු දොඩන්තැන්න තාත්තා. සීයා ජයලත් මනෝරත්න.මේ චිත්‍රපටය රොහාන් පෙරේරා මාමාගේ අධ්‍යක්ෂණයක්. ළඟදි ඒක බලන්න පුළුවන් වෙයි.

ඔයා කැමැතිම චරිතය මොකක්ද?

හාර කෝටිය නාට්‍යයයේ “දෝණි”ගෙ චරිතයට කැමතියි. කඩවර අඩවිය නාට්‍යයේ වීදිය බණ්ඩාර කුමාරයගේ පොඩි කාලෙට රඟපාන්නෙත් මම. ඒකෙ අංගම්පොරත් තියෙනවා. ළඟදිම හිරු රූපවාහිනියෙන් ඒක විකාශනය වේවි. මදුමතී කියන ශ්‍රී ලංකාවේ දිග ම මෙගා නාට්‍යයේ පූජා කියන චරිතය කරනවා. මේ දවස්වල ඒකේ රූගතකිරීම්වලට යනවා.

ඔයා රඟපෑමට සම්බන්ධ වුණ විදිහ ගැනත් කියමුද?

දවසක් අම්මයි, තාත්තයි,අක්කයි, මමයි BMICH එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා. වාහනේ නවත්තලා පාර මාරු වෙන්න යද්දි මාමෙක් ඇවිත්, වෙළෙඳ දැන්වීමක් තියෙනවා, චූටි දුව දෙන්න පුළුවන්ද කියලා අම්මලගෙන් ඇහුවා. අම්මලා කිව්වා බලමු කියලා. කැමැතිනම් කෝල් එකක් දෙන්න කියලා එයා අපට නොම්මරයක් දුන්නා. අපි ගොඩක් වෙලා ප්‍රදර්ශනය බලලා එළියට එනකොටත් ඒ මාමා වාහනය නවත්තන් හිටියා. එයා කිව්වා තාත්තා එක්ක මොනවද කතා කළා.එයත් එක්ක යන්න එන්න කියලා අපට කතා කළා. ඒ මාමා චාමර සමරවික්‍රම.එයා අප එක්කන් ගියේ සද්ධාමංගල සූරිය බණ්ඩාර මාමා ළඟට.

ඔයාලව එක්කගෙන ගියේ මොකටද?

ඒ මාමා කිව්වා “මම සිංහ පුත්‍ර ෆිනෑන්ස් එකේ වෙළෙඳ දැන්වීමක් කරනවා. ඒකට පොඩි අය අරන් තියෙනවා. ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා ,හොඳයි නම් ඒකට ගන්නම්” කිව්වා. මට ඒ වෙලාවෙ කරන්න කිව්ව දේවල් මංකළා. ඊට පස්සෙ දවසක අපට එන්න කියලා ඒ මාමා කෝල් කළා. කොඩියක් අරන් දුවන්නයි තිබුණෙ. ලොකු බබාලා ටිකක් හිටියා. එයාලා ඒ දේ හරියට කළේ නෑ කියලා, එතන කැමරාවෙ හිටිය මාමා කිව්වා. “ඔන්න ඔය චූටි දුවට ඔය කොඩිය දෙන්න” කියලා ඒ මාමා කිව්වා. පස්සෙ ඒ වෙළෙඳ දැන්වීම වෙනස් කරලා,රූගත කළා. මං ඒක හොඳට කළා කියලා ඒ මාමා කිව්වා.

චූටි දූ ඒ ලෙවල් චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද? මං ඇගේ පියාගෙන් විමසීමි.

කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තගේ මාර්ගයෙන් තමයි අපේ දුව “ඒ ලෙවල්” චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඒ වෙනකොටත් ඒ චිත්‍රපටයට චූටි දුවෙක් අරගෙනයි තිබුණෙ. කොහොම හරි ජාන්වී බලලා එයාලා කිව්වා අපි හොය හොයා හිටිය බබා නම් මෙයා තමයි කියලා. අන්තිමේදි ඒ චරිතෙ අපේ දුවට ලැබුණා. පළමුවැනි රූගත කිරීමේ පෙර සූදානම්වීම්වලට සම්බන්ධ වුණා. ඒකෙන් පස්සෙ තමයි සද්ධාමංගල සූරිය බණ්ඩාර මහත්මයා , හාරකෝටියේ දෝණිගේ චරිතයට කතා කළේ.

දෝණිට විවිධ චරිතවලට ආරාධනා එනවා ඇති. ඒ හැම එකක් ම බාර ගන්නවද?

නිර්මාණයක් ආවහම අපි ඒක කෙලින්ම බාරගන්නෙ නෑ. සද්ධා මංගල මහත්මයාගෙන් අහනවා. එතුමගේ මඟපෙන්වීම යටතේ අපි දුව ගුණාත්මක නිර්මාණවලට විතරක් දායක කරනවා. චාමර සමරවික්‍රම මහත්මයා තමයි අපේ දුව ක්ෂේත්‍රයට අරන් ආවේ. කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා මෙයාගේ හැකියාව අඳුරගත්තා. අද වෙනකොට සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයයි, එතුමගේ බිරිය චේතනී විජේතුංගයි මගෙ චූටි දුවට හොඳ ගමනකට මඟ පෙන්වනවා.

සිවගුරුනාදන් මහත්මයගෙන් ලැබෙන්නෙත් උපරිම සහයෝගයක්. එතුමා ජාන්වීට කතා කරන්නෙ ‘ළමා නිළිය’ කියලා. හාරකෝටියේ හැමෝම ජාන්වීට හරි ආදරෙයි. නිරෝෂා තලගල, දුවට කියන්නෙ ‘වදමල’ කියලා. දුව එයාට කතා කරන්නෙ නිරෝෂා අම්මා කියලා. සාරංග, ආනන්ද අතුකෝරල,ෂෙනාලි, විශේෂයෙන් ම රොහාන් විජේතුංග ජාන්වී එක්ක හරි එකතුයි. මෙයා හැමෝගෙම හුරතලී වෙලයි ඉන්නෙ. හැමෝම මෙයා එක්කගෙන ගිහින් මොනවා හරි අරන් දීලා එක්කගෙන එනවා.

ජාන්වී මොන වගේ චරිතයක්ද?

හරි සංවේදී චරිතයක්. පාසලේ පළමුවැනි පන්තියට ළමයි බාර දුන්න දවසෙ මෙයා ගිහින් අඬන ළමයි නළවලා. ඔයා අඬන්න එපා, අම්මා එයි කිය කියා මෙයත් අඬනවලු. නැතිබැරි කෙනෙක්ට උදවු කරන්න එහෙම හරි කැමතියි. අක්කා එක්ක එකතුවෙලා තමයි ඒවා කරන්නෙ. ගෙවල් අස් කරනවා. අතුගානවා. බුදු පහන තියනවා. මම කාර්යාලයට යද්දි මගේ සපත්තු පවා පොලිෂ් කරලා දෙනවා. බෑග් එක සකස් කරලා දෙන්නෙත් එයා. හරි හොඳ දරුවෙක්. ඒ වගේ ම එයා තැනේ හැටියට වෙනස් වෙන්නත් දන්නවා.

එයා කැමැති අනාගතේ කවුරු වෙන්නද?

එයාගෙ අදහස තිබුණේ නීතිඥවරියක් වෙන්න. ඉස්සර එයා කියනවා මට ඕනෙ නඩු කතා කරන්න කියලා. හාර කෝටියෙ වේෂ නිරූපණ ශිල්පී වාසනා බණ්ඩාර දැක්කට පස්සෙ, දැන් මෙයාගෙ ඔළුවෙ දුවන්නෙ නීතිඥවරියෙක්වත්, නිළියෙක්වත් වෙන්න නෙමෙයි, වේශ නිරූපණ ශිල්පිනියක් වෙන්න. එයාට බ්‍රෂර්ස්, ටූල්ස් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අම්මා වේෂ නිරූපණයේදී යොදා ගන්නා රූපලාවන්‍ය බුරුසු ටික හදලා දුන්නම, එයා තනියම ඒවා හරියට ආලේප කර ගන්නවා. “මේකප් ආර්ටිස්ට් කෙනෙක් වෙන ගමන්, ඔය පුළුවන් වුණොත් නාට්‍යයක් දෙකක් රඟපාගෙන ඉන්නවා” කියලා තමයි එයා කියන්නෙ.

මම ගෙදර ආවහම රූපලාවන්‍ය පින්සල් ගෙනල්ලා, මගේ මූණෙ ගාලා හැඩගන්වනවා. එයා පින්සල අල්ලන විදිහෙන් තේරෙනවා එයාට ඒ ගැන තේරුමක් තියෙනවා කියලා. ජාන්වී යූ ටියුබ් එකේ පවා හොයන්නෙ ඒවා ගැන. හාර කෝටියෙ දෝණි වගේ හැම දෙයක්ම ප්‍රශ්න කරන ගතිය, ජාන්වීගේ ඇත්ත ජීවිතෙත් ඒ විදිහට ම තියෙනවා.

හරියට ප්‍රශ්න අහනවා. එයා ප්‍රශ්න පත්‍රයක් වගේ. හාර කෝටිය රඟපාද්දි අපට තිර පිටපතක් කවදාවත් දීලා නෑ. නිරෝෂා හරි, සාරංග හරි,නැත්නම් වෙන කවුරුහරි කෙනෙක් කියපු ගමන් ම දෝණි ඔයාට අද මේ ටික තමයි කියන්න තියෙන්නෙ කියලා. එයා ඒක ඉක්මනට අල්ල ගන්නවා. දෙපාරක්, තුන් පාරක් කටපාඩම් කර ගන්නවා. දඟල දඟල ඉඳලා, එයාගෙ වෙලාව ආවහම ඉක්මනට ස්වරූපය වෙනස් කරගෙන, හරියට වැඩේ කරන ගානට එයා දැන් හැදිලයි ඉන්නෙ.

රූගතකිරීම්වලට යන්නේ කා එක්කද?

බොහෝ වෙලාවට මාත් එක්ක තමයි යන්නෙ. අප්පච්චි කැමරා එක ඉස්සරහා ඉන්න කියලා කියනවා. ඒත් එයා හොඳට ම රගපාන්නෙ,අපි කවුරුත් නැති වුණහමයි. හැමෝම කියන්නෙ එයා භාව ප්‍රකාශනවලින් බොහොමඉස්සරහින් ඉන්නවා කියලයි.

මෙයාගෙ හොඳක් තියෙන්නෙ, මෙයත් එක්ක රඟපාපු හැම චරිතෙකට ම මෙයා මාසෙකට සැරයක්වත් දුරකථනයෙන් අමතනවා. ඒක හැමෝම දන්නවා. උමාලිට, සාරංගට, රොහාන්ට හැමෝටම කතා කරනවා. උපන්දින එහෙම අමතක කරන්නෙ ම නෑ.

සමහර වෙලාවට ජයලත් මනෝරත්න මහත්මයා රූපවාහිනියෙ ඉන්නවා දැක්කහම, “අම්මෙ සීයා කොහෙද දන්නෙ නෑ නේද?” කියලා මතක් කරනවා. එතකොට අපි දුරකථනයට ඇමතුමක් අරන් දෙනවා.

දූවගෙ වෙන දක්ෂතා ගැන කතා කළොත්?

දුව පෙර පාසල් ගියේ මිනුවන්ගොඩ තියෙන පෙර පාසලකට. මෙයාට හොඳට නර්ථන හැකියාව තියෙනවා. ප්‍රධාන ගුරුතුමිය වගේ ම, පංතිභාර ගුරුතුමිය මෙයාගෙ හැකියා වර්ධනය කර ගන්න උදවු වුණා.

දුවට හුරතලේට කතා කරන්නේ කොහොමද?

හුරතලේට කියන්නෙ ‘ඔනිකි’ කියලා. පෙරපාසලේ, පාසලේ පවා ඔනිකි කියන නමින් තමයි බොහෝ අය දන්නෙ. ජාන්වී කිව්වට දන්නෙ නෑ. එයා සත්තුන්ට හරි ආදරෙයි.පාරෙ යන බල්ලන්ට පවා කන්න ගිහින් දෙනවා. කිරි හදලා දෙනවා. මෙයා කියන්න තියෙන දේ මූණටම කියනවා. බොරු කියන්නෙ නෑ. “අංකල් මං නයිට් දෙකයි ෂූටින් කරන්නෙ, මට නම් ඊට වඩා කරන්න බෑ” කියලා සිවගුරුනාදන් මහත්මයට වුණත් මූණටම කියනවා. මෙයාගෙ රූගතකිරීම් වැඩ නිසා අක්කගේ පාසල් වැඩත් මඟහැරෙනවා.

චූටි දූ අක්කා එක්ක රණ්ඩු කරන්නේ නැද්ද?

සමහර වෙලාවට මං අක්කට ගහනවා. ඒත්, අක්කා මට හරි ආදරෙයි.

රඟපෑම්වලට යනකොට පාසලේ වැඩකටයුතු මඟහැරෙන්නේ නැද්ද?

පංතිභාර ගුරුතුමිය මට උදවු කරනවා. අතපහු වුණ පාඩම් කියලා දෙනවා. මං පාසලේ වැඩත් හොඳට කරනවා.

SHARE