බලවතුන් රත් කළ කොරියානු මිසයිලය

කිම් ජොං අං

උතුරු කොරියාව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් පසුගියදා සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ මිසයිලය අත්හදා බැලුණු බව දැක්වේ. අමෙරිකා එක්සත් ජනපද භූමියට පතිත කරවීමට තරම් මිසයිලය බලසම්පන්න එකක් වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියාවේ මේ මිසයිල අත්හදා බැලීම අමෙරිකා එක්සත් ජනපදයට එල්ල කළ තදබල කනේ පහරක් ලෙස සැලකේ. මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් විග්‍රහයක යෙදුණු අමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා තිබුණේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙළ මේ වනවිට අමෙරිකාවට තර්ජනයක් වී ඇති බවකි.

අන්තර් මහාද්වීපික මේ මිසයිල අත්හදා බැලීම ලෝක බලවතා තුට්ටු දෙකට දැමූ කාරියක් බැව් ලෝකයාට දැන් ඒත්තු ගැන්වී ඇත. එහිලා වඩාත් තදින්ම කැපී පෙනන්නේ මිසයිලය අත්හදා බැලීමට උතුරු කොරියාව යොදාගත් දිනයයි. අත්හදා බැලීම සිදුවුණේ පසුගිය හතරවැනිදා ය. එනම් අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනයදා ය.

එනිසා තිස් තුන් හැවිරිදි කිම් ජෝන්ග් උන් හැත්තෑ එක් හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එවන ලද ‘තෑගි පොදියක්’ ලෙසටත් ඇතැම් අය මේ අත්හදා බැලීම සලකති. අනෙක් අතට චීන ජනාධිපති ෂි ජින්පින්ග් සහ ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ යන නායක දෙපළ සමඟ අමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර වැඩි දවසක් ගතව තිබුණේ ද නැත. අමෙරිකා එක්සත් ජනපදය, චීනය මෙන්ම ජපානය යනු ලොව බලවත් රාජ්‍ය ත්‍රිත්වයකි.

මේ ත්‍රිත්වයේ නායකයන් එකට එක් වී කුමක් කතා කළත් ඒ සාකච්ඡාව ලෝකයාට බෙහෙවින්ම වැදගත් ය. මේ ප්‍රබල නායකයන් තිදෙනා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැනම කතාබහ කරද්දී මේ තරම් දඩබ්බර වැඩක් කිරීම උතුරු කොරියාවේ පිළිවෙත මොනවාට විදහා පෙන්වන්නකි. ඒ හැරත් ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් කිහිප පළකගේ සහභාගිත්වයෙන් ජී – 20 සමුළුව පැවැත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී උතුරු කොරියාව සිය බල පුළුවන්කාරකම පෙන්වීමද සුළුපටු කාරියක් නොවේ.

උතුරු කොරියා රජයේ රූපවාහිනී සේවය අනාවරණය කරන ආකාරයට අත්හදා බලනු ලැබූ මිසයිලය හෙවත් හ්වැසොන්ග් – 14 මිසයිලය කිලෝමීටර 2802ක් පමණ ඉහළට නැඟ තිබේ. එපමණ උසකට ළඟා වුණු උතුරු කොරියා පළමු මිසයිලය එය බව “කොරියා සෙන්ට්‍රල්” රූපවාහිනී නාළිකාව පවසයි. කිලෝමීටර 2802ක් ඉහළට නැඟුණු මිසයිලය කොරියා අර්ධද්වීපයට අයත් නැගෙනහිර මුහුදු තීරයට පතිත වුණු බව සඳහන් වේ.

මිසයිලය පතිත වුණු ස්ථානයේ සිට, ජපානයේ ප්‍රධාන වෙළඳ කලාපයක මුහුදු වෙරළට තිබෙන්නේ නාවුක සැතපුම් 200ක පමණ දුරකි. එකී ස්ථානයට මිසයිලය පතිත වී ඇත්තේ උතුරු කොරියාවේ උතුරු යොන්ගාන් පළාතෙන් එය මුදා හැර මිනිත්තු 37කට පමණ පසුවයි. මේ දත්ත සැලකිල්ලට ගන්නා විචාරකයන් ප්‍රකාශ කරන්නේ උතුරු කොරියාව අත්හදා බැලූ වඩාත් සාර්ථකම මිසයිලය මෙය බවයි. එනිසා එමඟින් මුලුමහත් ලෝකයටම ඉතා ප්‍රබල, නිහඬ තර්ජනයක් එල්ල කරන්නට උතුරු කොරියාව සමත්ව සිටින බව ඒ විචාරකයෝ පවසති. එය වඩාත් තහවුරු වන්නේ උතුරු කොරියා රජයේ රූපවාහිනි සේවාව කළ ප්‍රකාශයකිනි. රූපවාහිනී සේවාවෙන් විකාශනය කෙරුණේ නුදුරු අනාගතයේදී උතුරු කොරියා මිසයිල ලෝකයේ කවර තැනකට හෝ ළඟාවන්නට ඉඩ ඇති බවයි.

සිය රටේ රජයේ රූපවාහිනී නාළිකාව උපයෝගී කරගෙන උතුරු කොරියාව ලෝකයට එතරම් දරුණු තර්ජනයක් එල්ල කිරීම කෙසේවත් ඉවත හෙළිය නොහැකිය. අත්හදා බලනු ලැබූ මිසයිලයේ තොරතුරු ඇතුළත් තවත් රූපවාහිනි පුවත් වාර්තාවක් මඟින් කියැවුණේ න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය අඩංගු විශාල ප්‍රමාණයේ මිසයිල ශීර්ෂයක් දරන්නට පවා ඊට හැකියාවක් තිබුණු බවකි. එවැනි පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගත් මිසයිලය උඩුගුවනට යොමු කර පෘථිවියට අයත් වායුගෝලයට නැවත ඇතුලු කරගැනීමට උතුරු කොරියාවට හැකියාව ඇති බවත් මේ පුවත් වාර්තාවෙන් කියැවිණ.

උතුරු කොරියාව අත්හදා බැලූ බැලස්ටික් මිසයිලය නිසා ලෝක නායකයන් කිහිප පළකගේම ඉහ මොළ රත් වී ඇත. ඒ අතර කැපී පෙනෙන්නේ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. සිද්ධිය දැනගත් වහාම හෙතෙම සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අසා තිබුණේ උතරු කොරියා නායකයාට මෙයට වඩා හොඳ දෙයක් කළ නොහැකිද යනුවෙනි. එතැනින් නොනැවතුණු ට්‍රම්ප් ජනාධිපතිවරයා මිසයිල අත්හදා බැලීම සිදුවූදාම හදිසි රැස්වීමක් කැඳවා තිබිණ. රැස්වීමට සහභාගී වූයේ අමෙරිකාවේ ජාතික ආරක්ෂක ප්‍රධානින්, හමුදා නායකයන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන්ය.

සාකච්ඡාවෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබිණ. එකී ප්‍රකාශයෙන් කියැවුණේ අමෙරිකාවට සහ එරට මිත්‍රපාක්ෂිකයන්ට එරෙහිව නැඟුණු තර්ජන, මිසයිල අත්හදා බැලීමත් සමඟ තවත් ඉහළ ගොස් ඇති බවකි. ගෝලීය වශයෙන් නැඟුණු මේ තර්ජනය නැවැත්වීමට ගෝලීය වශයෙන්ම ක්‍රියාකළ යුතුව ඇති බව නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වේ. උතුරු කොරියාවට කිසියම් ආකාරයකින් උපකාර කරන රාජ්‍යක් වෙතොත් එම රාජ්‍ය කරන්නේ, උතුරු කොරියා පාලන තන්ත්‍රය ගෙන යන භයානක වැඩපිළිවෙළට ආධාර සහ අනුබල දීමක් බවත් රෙක්ස් ටිලර්සන් සිය නිවේදනයේ සටහන කර ඇත.

උතුරු කොරියා මිසයිල අත්හදා බැලීමෙන් කලබලයට පත් අනෙක් රාජ්‍ය නායකයා රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින් ය. රුසියාවත් උතුරු කොරියාවත් අතර දේශසීමාවක්ද ඇත. එනිසා උතුරු කොරියා නායකයාගේ හිතුවක්කාරී වැඩපිළිවෙළ නොසලකා හැර ඉවත බලාගන්නට පුටින්ට කොහෙත්ම හැකියාවක් නැත. කිම් ජොන්ග් උන්ගේ මිසයිල අත්හදා බැලීම සැලවීමත් සමඟම පුටින්, චීන ජනාධිපති ෂි ජින්පින්ග් සමඟ ඒ ගැන සාකච්ඡා කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව පුටින් මාධ්‍යට කියා සිටියේ උතුරු කොරියාවේ දඩබ්බර ක්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් චීනයත් තම රටත් එකට එක්ව ක්‍රියා කරන බවය. උතුරු කොරියා මිසයිල වැඩපිළිවෙළ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන්ගේ ද බලවත් හිසරදයට හේතුවක් වී ඇත. ජනාධිපතිවරයා පවසන්නේ උතුරු කොරියාව කුමන හේතුවක් නිසාවත් උතුරු – දකුණු කොරියා අතර හමුදාමය මායිම පසු නොකළ යුතු බවකි. උද්ගත වී තිබෙන තත්ත්වය නිරාකරණය කරගැනීමට දකුණු කොරියාව චීනයේද සහය පතයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිකුත් කළ පණිවුඩයකින් කියැවෙන්නේ ජගත් මහ ලේකම්වරයා උතුරු කොරියා මිසයිල අත්හදා බැලීම තරයේ හෙළා දකින බවකි.

උතුරු කොරියාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලබලයට පත් ලෝක නායකයන් කොයි කවුරුත් එරට මිසයිල අත්හදා බැලීමේ අතීතය ගැන සොයා බැලිය යුතුව ඇත. උතුරු කොරියාව සාර්ථකව මිසයිලයක් අත්හදා බලන තැනට පැමිණියේ එක අදියරයකින් නොවේ. එහි අක් මුල් එක්දහස් නවසිය හැට දශකයේ මුල භාගය දක්වා විහිදී ඇත. එකල උතුරු කොරියා නායකයන්ට වුවමණා වුණේ සිය රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීමට.

ඔවුන් බලාපොරොත්තු වූයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් පොහොසත් රාජ්‍යක් කරගැනීම මිස අනෙකක් නොවේ. එතැනට ළඟාවන්නට අවශ්‍යය තාක්ෂණය ඔවුන් අත එකල තිබුණේ නැත. එනිසා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ආධාර උතුරු කොරියා බලධාරීන් පැතුවේ එවකට පැවති සෝවියට් සංගමයෙනි. මේ විමසීම 1963දී කළ බව ඉතිහාසයේ සටහන්ව ඇත. උතුරු කොරියාවට ආධාර දීම සෝවියට් සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. නමුත් අවාසනාවකට මෙන් සෝවියට් සංගමය ඉන්පසු වැරදි තීරණයක් ගත් බව දැක්වේ.

එකී වැරදි තීරණය වනාහි, සාමකාමී න්‍යෂ්ටික ශක්ති භාවිතය සඳහා උතුරු කොරියාවට ආධාර දීමට එකඟවීමයි. ඒ හරහා යොන්ග්බියෝන් න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ඉඳි කිරීමට 1963 වසරේදී රුසියාව එළිපිටම ආධාර අනුබල දුන්නේය. එතුළින් 1965 පමණ වනවිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තනා ගැනීමට උතුරු කොරියාව සමත් විණ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ එතැනින් නැවතුණේ නැත. සෝවියට් සංගමයෙන් ලත් ආධාර සහ උපකාර මත ඔවුහු සිය දෙවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයත් ඉඳි කළහ. න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ගිවිසුමට වරක් එකඟතාව පළ කළ උතුරු කොරියාව දෙවනුව එකී ගිවිසුමෙන් ඉවත්ව කටයුතු කරන්නට පටන් ගත්තේය.

එයින් ඇරඹුණු වැඩපිළිවෙළ අද අන්තර් මහාද්වීපික දුර දිග මිසයිල අත්හදා බැලීමක් දක්වා දිගු වී ඇත. න්‍යෂ්ටික අවි නිපදවන්නට ආධාර ඉල්ලා සිටි උතුරු කොරියාවට පසුව න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ ඥානය දෙන්නට ගිය එදා සෝවියට් සංගමය උතුරු කොරියාවේ යටි අරමුණු හඳුනා නොගත්තේදැයි ගැටලුවක් මතු වේ. උතුරු කොරියාවේ අභිලාෂයන් හරියටම හඳුනාගත්තේ නම් සෝවියට් සංගමය පනින රිලවුන්ට ඉනිමං නොබැඳිය යුතුව තිබිණ. නමුත් එදා සීතල යුධයකට ඈඳී සිටි අමෙරිකා එක්සත් ජනපදයටත්, සෝවියට් සංගමයටත් වුවමණා වී තිබුණේ තම තමන්ට පක්ෂපාතී රටවල් සමඟ මිත්‍ර සන්ධාන ඇතිකර ගැනීම පමණි.

SHARE