චුට්ටං හදවතට විස්කම් සැත්කමක්

හදවත් සැත්කමකට ලක්වූ ලොව කුඩාම බිළිඳා ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා විය.තවමත් නමක් තබා නැති වුවත් මේ කුඩා බිළිඳාගේ වික්‍රමය දැන් ජාත්‍යන්තරයටත් ගොස් හමාරය. ඒ අඩු වයසින් එනම්, සති විසිඅටකින් නොමේරූ ළදරුවකු ලෙස මෙලොවට බිහිවී, හදවත් සැත්කමකට ලක්වූ ලොව ප්‍රමාණයෙන් කුඩාම ළදරුවා ලෙස වෛද්‍ය ඉතිහාසය තුළ වාර්තාවක් පිහිටුවීම නිසයි.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උඩායිපූර්‘ නගරයේ රජයේ රෝහලකදී උපන් ළදරුවා එලෙස ඉතා අවධානම් සහගත හදවත් සැත්කමකට ලක්වන විට ඔහු ප්‍රමාණයෙන් වැඩිහිටියෙකුගේ අත්ලක් තරම් විය. උපතින් සති දෙකක් ගතව තිබුණත් පෙනහලු, සම, හෝ දෑස්වල වර්ධනය සම්පුර්ණ කර තිබුණේද නැත. බර යාන්තම් රාත්තලක් පමණි. ( ග්‍රෑම් 470) එතරම් සියුමැලි බිළිඳකු සැත්කමකට ලක් කිරීම කෙතරම් අවධානම් සහගත වුවාද යත් සැත්කම සඳහා බිළිඳා ශල්‍යාගාරයකට හෝ ගෙනයාමට මැලිවූ වෛද්‍යවරුන් සැත්කම සිදුකළේ උපන්දා සිට ඔහුට නිවහන වූ ගීතාන්ජලී වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළදී ය.

අඩු වයසින් උපන් මේ ළදරුවාට එතරම් ළපටි වියකදී මෙබදු අවධානම් සහගත සැත්කමකට ලක්වීමට සිදුවුණේ උපතින්ම හදවතේ වූ දෝෂයක් හේතුවෙන් බෙහෙවින් අනතුරුදායක තත්ත්වයකට ඔහු මුහුණපා සිටීම නිසයි. ‘Patent Ductus Arterious’ (PDA) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වයේදී හදවතේ ප්‍රධානම ධමනි දෙක වන සංස්ථානික මහා ධමනිය හා පුප්ඵුසීය ධමනිය එකිනෙක හා සම්බන්ධව පැවතීම නිසා ඔක්සිජන් රහිත අපිරිසිදු රුධිරය හා ඔක්සිජන් මිශ්‍රිත පිරිසිදු රුධිරය මිශ්‍රවීමෙන් ශ්වසනයට බාධා එල්ල වීමේ අවධානමක් පැන නඟියි.

මවු කුසේ සිටියදී භ්‍රෑණයේ රුධිර සංසරණය සඳහා මෙලෙස ප්‍රධාන ධමනින් දෙක එකිනෙක හා සම්බන්ධව පිහිටීම අත්‍යාවශ්‍ය වන අතර, උපතින් මිනිත්තු කිහිපයකින් හෝ දින කිහිපයකින් මෙම සම්බන්ධය ඉබේම වැසි යාම ස්වභාවයකි. එසේ නොවන අවස්ථාවලදී හදවත මත දැඩි ආතතියක් එල්ලවීම නිසාවෙන් රුධීර පීඩනය ඉහළ යෑම වැළැක්විය නොහැක. මෙම තත්ත්වය සමනය කිරීමට ඖෂධීය ප්‍රතිකාර ලබාදිය හැකි මුත්, මෙම ඉන්දීය බිළිඳා එබඳු ප්‍රතිකාරවලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසාවෙන් කෙතරම් අවධානම් සහගත වුවත් සැත්කමකට ලක්කිරීම හැර අන් විකල්පයක් වෛද්‍යවරුන්ට තිබුණේ නැත.

ප්‍රමාණයෙන් අල්ලක් තරම් වූ අතිශයින්ම කුඩා, නොමේරූ ළදරුවාගේ ශරීරාංග අතිශයින්ම සියුමැලි වීම හේතුවෙන් ළදරුවා දෑතින් ස්පර්ශ කිරීම පවා අවධානම් සහගතව තිබියදී ඔහු සැත්කමකට ලක්කිරීම කෙතරම් අසිරු වුවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත. සැත්කම සිදුකළ ගීතාන්ජලී රෝහලේ වෛද්‍ය සුනිල් ජන්ගිඩ් හා වෛද්‍ය සන්ජේ ගාන්ධි පවසන ආකාරයට මෙබඳු නොමේරූ ළදරුවකු සැත්කමකට ලක් කිරීමේදී හා ඉන් පසුව හට ගැනිය හැකි අවධානම් සහගත සංකූලතා බොහෝමයකි.

ශ්වසන ආපදා සංකූලතාව, මොළයේ හා පෙනහලුවල හටගත හැකි ලේ ගැලීම්, පසුකාලීනව ඇති විය හැකි වර්ධන ඌණතා හා ආහාර ගැනීමේ ප්‍රතිරෝධතා මෙබඳු දරුවකුට මරණය කැන්දීමට තරම් ප්‍රබල වුවත් ඒ අභියෝග සියල්ල සාර්ථකව ජය ගැනීමට මෙම මොළකැටි බිළිඳා සමත් වූයේ ඔහුට ජීවත් වීමේ වරම උරුමව තිබු නිසා වන්නට ඇත.

ශල්‍යාගාරයක් වෙත ගෙන යෑමත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකිවූ නිසාවෙන් දැඩි සත්කාර ඒකකය තුළම විශේෂයෙන් කුඩාවට සකසන ලද ශල්‍ය උපකරණ ආධාරයෙන් සැත්කම සිදුකිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබිණි.

“මගේ පුංචි පුතා හරිම එඩිතරයි. මවු කුසේ ගතකළ යුතු අවධියේදී සැත්කමකට මුහුණදී ජීවත්වීමට තරම් ඔහු වාසනාවන්ත වුණා. අපේ යාච්ඥාවලට දෙවියන් පිළිතුරු ලබා දුන්නා“ බිළිඳාගේ පියා වන එස්. පී. ජායින් සිය පුතුගේ ජයග්‍රහණය පිළිබඳව උද්දාමය පළ කරන්නේ එලෙස ය

SHARE