ප්‍රණීතයි කුහුඹුවෝ

කුරා කුහුඹුවකුටවත් හානියක් නැතැයි කියා මැක්සිකානු වැසියන්ට නම් සතුටු විය නොහැකිය. ඒ ඔවුන් චිකටනාස් කුහුඹුවන්ගෙන් කුස පුරවා ගන්නා නිසයි.

“එය හරියට කුහුඹු වැස්සක් වගෙයි. උන් අහසින් පොළොවට වැටෙනවා. අපි උන් අතුගාලා පිරිසුදු කරලා ටෝස්ට් කරනවා. කොමල් කියන පැතලි භාජනයේ ටෝස්ට් කරලා කෑමට ගන්නවා”. මෙසේ පවසන්නේ ගේ බ්‍රියල් හර්නන් ය . ඇය දකුණු මෙක්සිකෝවේ ඔක්ස්කා ප්‍රාන්තය ආසන්නව ජීවත්වන ගුරුවරියකි. ග්‍රීෂ්මයේ පළමු වර්ෂාවට පසු ජූනි මාසයේ අවසානයේදී පමණ පොළොවේ වැලි කැට මෙන් අහසේ දැකිය හැකි වන්නේ පියාඹන කුහුඹුවන් ය.

මොවුන්ට මැක්සිකානුවන් දී ඇති නාමය චිකටනාස් ය. අලුයම උදාවන විට අහස රතට හුරු දුඹුරු පැහැයක් ගන්නා කුහුඹුවන්ගෙන් පිරී යයි. විශාල විනිවිද පෙනෙන තටු සහිත මස් පිරුණු උදරයක් සහිත කුහුඹුවන් එළිවෙන විටම අල්ලා ගැනීම ගම්මුන්ගේ සිහිනයයි. පියාඹන කුහුඹුවන් අල්ලා ගැනීම කොහෙත්ම අපහසු නැත. අහසේ වේගයෙන් පියෑඹුවත් උන් තටු කැඩී බිමට වැටෙන්නේ සෙමිනි. එහෙත් දරුවන්ට දුව පනිමින් උන් අල්ලා ගැනීම සෙල්ලමකි. සමහරු කුහුඹුවන් ඇල්ලීමේ තරගද දියත් කරති. සෑම වයස් කාණ්ඩයටම අයත් පුද්ගලයන්ට චිකටනාස් කුහඹුවන් ඇල්ලීම විනෝදජනක ක්‍රියාවකි. ඔවුන් මෙය හඳුන්වන්නෙ ‘සල්සා ඩි චිකටනාස්’ ලෙසිනි.

චිකටනාස් කුහුඹුවන් පැමිණෙන්නේ වසරකට වරකි. දිනකට දෙකකට උන්ගේ පැමිණීම සීමාවේ. එසේ පැම ණි විට චිකටනාස් බෝංචි හා චීස් සමඟ එක්කර වසර පුරාම තබා ගැනීමේ ක්‍රමවේදයක් පැරැණි ගෘහණියන් සතුව පවතී.

ඔක්සකාස්හි ‍හොඳම අවන්හලේ චිකටනාස් සෝස් ඉතා ජනප්‍රිය ය. තටු ඇතුළුව කුහුඹුවාගේ සියලු ශරීර කොටස් ටෝස්ට් කර, අලිගැටපේර කොළ ටෝස්ට් කර ඊට අමු සුදුලූණු, විශේෂ ගම්මිරිස්, ගිනිකඳුවලින් ගන්නා කොටස් හා මිශ්‍ර කර සාදන සෝස් මැක්සිකෝවට පමණක් සුවිශේෂී ය . කෘමීන් ආහාරයට ගැනීමේ පුරුද්ද ඔවුන්ගේ පවතින්නේ ‍මෙසෝ අමෙරිකානු යුගයේ සිටය. එනම් ශිෂ්ටාචාරයේ මුල සිටමය.

සාගතය හා දිළිඳුකම පවතින කාලවල චිකටනාස් කුහුඹුවන් ඔවුන්ට රජ බොජුනක් විය. ආහාර හිඟ කාලයක මන්දපෝෂණය වැළැක්වීමට චිකටනාස් කුහුඹු ආහාර ඔවුන්ට විශාල පිටුබලයක් විය. ඒ කුහුඹුවන් ප්‍රෝටීන්වලින් හා රසයෙන් සරුසාර වීම නිසාය.

නිවෙස්වලට සීමාවී තිබූ කුහුඹු ව්‍යාංජනය දැන් සුපිරි ආපන ශාලාවල ද සුපිරි කෑමකි. මිලද සුපිරි ය. ඒ උන් වසරකටම අල්ලාගත හැක්කේ දිනකදී දෙකකදී පමණක් නිසාය.

මැක්සිකෝවේ චිකටනාස් කුහුඹුවන්ගෙන් ඇරඹුණු කුහුඹු ආහාර දැන් ලෝ පුරා ජනප්‍රිය ය. කජු, ආමන්ඩ් මෙන් රසැති මේවා නිසා එම වර්ගයේ වෙනත් කුහුඹු වර්ග දැන් කෑම මේසයේ ජනප්‍රිය අංගයක් වී අවසානය .

අටා නම් ගණයට අයත් කොළ කපන්නා හෙවත් චිකටනාස් කුහුඹුවා තම ශරීර කූඩුවලින් මිනිසාගේ කුස පුරවනවාක් පමණක් නොව මිනිසා ආහාරයට ගන්නා ශාක සරුසාර කිරීමට පසෙහි සශ්‍රීක බව වැඩිකරන්නෙක් ද වෙයි. අටා ගණයේ කුහුඹුවන්ගේ ඇති කජු වැනි ඇටවල රසය නිසා මැක්සිකෝ ආහාර රටා‍වේ චිකටනාස් කුහුඹු රසට ඇත්තේ වැඩි ඉල්ලුමකි. දකුණු අමෙරිකානු ගෝත්‍රිකයන් වන ගෝනේ ගෝත්‍රිකයන් අටා ගෝත්‍රයේ කුහුඹුවන් කෑමට ගනු ලබයි.

‍මෙක්සිකෝ ශබ්ද කෝෂයේ චිකටනාස් යන වචනය භාවිත කෙරෙන්නේ සොළොස් වැනි සියවසේ සිටය. වර්තමාන‍යේ කුහුඹුවන් කිලෝවක් පෙසෝ 400ක් පමණ වේ.

කුහුඹුවන් ඇල්ලීම විනෝදජනකයැයි පැවසුවද සැබැවින්ම උන් මිනිසුන් විසින් අල්ලා ගැනීමට උත්සාහ ගන්නා විට ප්‍රචණ්ඩ වේ .එවිට මිනිසුන් සපා කන අතර සැලකිය යුතු තරම් වේදනාවක් අත්දකින්නට සිදුවේ. කුහුඹුවන් ග්‍රීෂ්මයේ පළමු වැස්සට පසු ගුල්වලින් පිටතට පැමිණ අහස සිය රාජධානිය කර ගන්නා තුරු වැසියෝ බලා සිටිති. ඉන් පසු ඔවුන් විදුලි ආලෝකයෙන් යුතු වීදිවලට පොලිතින් බෑග් රැගෙන එක් රැස්වන්නේ කුහුඹුවන් ආලෝකයටත් එහි උණුසුමටත් ඇලුම් කරන නිසාය. ආලෝකයට උණුසුමට වශීවන කුහුඹුවෝ අවසානයේ මිනිසාගේ උදරයේ කුහුඹුවකුටවත් ඉඩ නොතබා පිරී යති.

අන්තර්ජාලයෙනි

 

SHARE