අපේ අරමුණ කතන්දර කීම නෙමෙයි

ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත

මීට දශකට තුනකට පමණ පෙර එක්තරා දිනයක රිදී බැඳි ඇල මිටියාවතට අපූරු ළමයෙක් අමුත්තකු සමඟ පැමිණේ. ඒ ළමයා තමයි හිරු. හිරු ළමා වියේ දඟකාරකම් මුසු අත්දැකීම් විඳිමින් දිවි ගෙවයි. එක්තරා දිනයක හිරු දුම්රියෙන් කැලණිවැලි නිම්නයට සේන්දු වේ. එහි දී පරිසරයේ කොටසක්ව ජීවත් වූ ගල්මල් ට හිමි පරිසරය අහිමි කිරීමේ තීරණාත්මක මොහොතට මුහුණ දෙයි.

යෞවනෝදයේ පසු වූ නාගරික මුඩුක්කු පරිසරයක දිවි ගෙවන ගැහැනු දරුවකු, කිසිදු හවුහරණක් නොමැතිව අසරණ වන මොහොතේ, තීරකයකු බවට පත් වේ. මේ ඔස්සේ ඔවුන්ගේ ජීවන අත්දැකීම් නවමු ආරකින් පාඨකයා වෙත සමීප කරවන හිරු යොවුන් කතා මාලාවේ නවතම කෘතිය ‘සිරකරුවාගේ දියණිය’ යොවුන් නවකතාව පදනම් කරගනිමින්, එහි කතුවරුන් වන ජයන්ත කහටපිටිය හා චමින්ද ක්‍රිශාන්ත සමඟ වර්තමාන යොවුන් සාහිත්‍යය පිළිබඳ සිදුකරනු ලැබූ කෙටි කතාබහකි මේ.

සිංහල සාහිත්‍යයෙන් යොවුන් සාහිත්‍ය කියන සාහිත්‍යාංගය පිටුවහල් කර ඇතිබවයි පෙනෙන්නෙ. එය පොදු සාහිත්‍ය කතිකාවෙන් පිටමන් වෙලා. මාධ්‍ය පවා එහෙම සාහිත්‍යයක් නැතුව වගෙයි හැසිරෙන්නෙ. මීට එක් උදාහරණයක් තමයි සම්මාන උලෙළ. ඒවගෙ අඩු ම ඇගැයීමට ලක්වන්නෙ යොවුන් සාහිත්‍ය කෘති. ඒත්, ජාත්‍යන්තර තත්ත්වය බෙහෙවින්ම වෙනස්.

ශ්‍රී ලංකාවෙ යොවුන් සාහිත්‍යය කොතනද තිබෙන්නෙ?

බෙහෙවින්ම කනගාටුදායක තැනක තිබෙන්නෙ. සිංහල සාහිත්‍යයෙන් යොවුන් සාහිත්‍ය කියන සාහිත්‍යාංගය පිටුවහල් කර ඇතිබවයි පෙනෙන්නෙ. එය පොදු සාහිත්‍ය කතිකාවෙන් පිටමන් වෙලා. මාධ්‍ය පවා එහෙම සාහිත්‍යයක් නැතුව වගෙයි හැසිරෙන්නෙ. මීට එක් උදාහරණයක් තමයි සම්මාන උලෙළ. ඒවගෙ අඩු ම ඇගැයීමට ලක්වන්නෙ යොවුන් සාහිත්‍ය කෘති. එහෙත් ජාත්‍යන්තර තත්ත්වය බෙහෙවින්ම වෙනස්.

ජාත්‍යන්තරව විවිධ ශානරවලට අයත් යොවුන් නවකතා විශාල ප්‍රමාණයක් වාර්ෂිකව බිහි වෙනවා.

මේවා ආශ්‍රිතව කොතරම් ආකර්ෂණීය සිනමාපට බිහි වුණත්, මුල් යොවුන් සාහිත්‍ය කෘතියට සිටින පාඨකයන් අඩුවෙන්නෙ නෑ. ශ්‍රී ලාංකේය පාඨකයන්ට සමීප එක් උදාහරණයක් ගැන හිතුවොත්, හැරී පොටර් කතා මාලාව ඇරැඹෙන්නෙ 1997 තරම් ඈතදි. 2007 දක්වා දශකයක කාලයක් තුළ අඛණ්ඩව කෘති හතක් බිහි වෙනවා.

එම කෘති එදා මෙදාතුර එක සේ ජනප්‍රියව පවතිනවා. ඒකට හේතු රාශියක් පවතිනවා. එයට එක හේතුවක් තමයි, මේ කෘතිවල මට්ටම ඉතා ඉහළ මට්ටමක පැවතීම හා ඒවා තුළ upper natural elements බහුල වීම. එමෙන්ම මේවා ක්‍රියාදාම බහුල, ත්‍රාසජනක වගේම, කුතුහලය පිරුණු කතන්දර. මේවා පසුපස විශාල කැපවීමක්, ශ්‍රමයක් හා දැනුමක් පවතිනවා.

වාර්ෂිකව එළිදකින, එමෙන් ම සම්මානයට ලක්වන යොවුන් කතා පිළිබඳ ඔබේ කියවීමකුමක්ද?

කුලසේන ෆොන්සේකා, සෝමවීර සේනානායක වැනි ලේඛකයන් සිංහල යොවුන් නවකතා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණු තබා තිබෙනවා. පසු ගිය වසර 5 ගත්තොත්, ප්‍රකාශයට පත්වූ කොළඹ ළමයි – අනුරසිරි හෙට්ටිගේ, සොරනැව බිලිවුණු සුනාමිය – රංජිත් ධර්මකීර්ති, අලි පැලැස්ස – දිනේෂ් සමරවික්‍රම, කුසල් සහ කුමාරයා – කුසුම්සිරි විජේවර්ධන, 86 ෂේන් – බුවනෙක වන්නිආරච්චි ඇතුළු ප්‍රශස්ත යොවුන් නවකතා බොහොමයක් පාඨකයා අතට පත් වුණා. ඒත්, සමහර හොඳ පොත් අද මිල දී ගැනීමට නැහැ. මේ පොත් පිළිබඳ විචාරක මැදිහත් වීම අල්පයි.

හොඳ පොත් යෞවන යෞවනියන්ට හඳුන්වා දීමට, සාහිත්‍ය ගුරුවරුන් දැනුම්වත් කිරීමට සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පැවැත්විය යුතුයි.

යොවුන් සාහිත්‍ය අමතක කර, හොඳ සාහිත්‍යයක් බිහිකළ හැකි ද?

ලේඛකයන් යටත් පිරිසෙයින් යොවුන් නවකතා කීපයක්වත් ලිවිය යුතුයි.

ටොල්ස්ටෝයි, තාගෝර්, ශේක්ස්පියර් වැනි ඉහළ ම තලයේ ලේඛකයන් යොවුන් සාහිත්‍යයට දායකත්වය සැපයුවා. ශ්‍රී ලංකාවෙත් මේ තත්ත්වය ඇතිවිය යුතුයි.

නිවාඩු කාලෙ රහස් පරීක්ෂකයො වෙලා, හොරු අල්ලන කතාවලින් හිරු යොවුන් කතා වෙනස් වෙන්නෙ කොහොමද?

අපි මෙතැනදි හිරු යොවුන් කතාවලට තේමාව කර ගත්තෙ ළමයින් ජීවිතේට මූණ දෙන්නෙ කොහොමද කියන එක පිළිබඳයි. මොනවද අද ළමයින්ට මූණ දෙන්න වෙන ගැටලු ? ආර්ථික ගැටලු.

එතකොට සංස්කෘතික හා සාමාජීය ගැටලුවලට ඔවුන්ට මූණ දෙන්නට සිදු වෙනවා. අපි උත්සාහ කළේ, වඩාත් දියුණු, ප්‍රගතිශීලී දෘෂ්ටියක ඉඳලා, මේ ගැටලු සාකච්ඡා කරන්න. සිරකරුවාගේ දියණිය නම් තුන්වැනි නවකතාවෙන් අප උත්සාහ කළේ, සමාජගතවී ඇති පොදු මතයකට පහර දී, එය වෙනස් කරන්නයි. ඒ මතය තමයි හිර ගෙදරින් පැනයාම වීරත්වය බව. එහෙත් වීරත්වය කියන්නෙ ඒකද? නැහැ. අප දන්නවා සාමාන්‍ය ජීවිතේදි සත්‍ය එය නොවන බව.

හිරෙන් පැන ගියොත් ජීවිතෙ විනාශ වෙනවා. හිරුත් ඔහුගෙ සගයනුත් මෙහි දී උත්සාහ කරන්නෙ සිරකරුවා පැනයාම කියන එකෙන් ඔහු මුදාගන්න. ඔහු හිරෙන් පැනයාමට උත්සාහ කරන්නෙ ඇයි? කාත් කවුරුවත් නැතිව අසරණ වන තම එක ම දියණිය ආරක්ෂා කර ගන්න. මේ මොහොතේ ක්‍රියාත්මක වන ළමයින් නිර්භීතව, වගකීම් සහගතව හා ඉතාමත් ම නිර්මාණශීලී ලෙස මේ ප්‍රශ්නයට මැදිහත්වෙනවා. ඔවුන් මේ ගැටලුවට සාධනීය, ධනාත්මක මැදිහත් වීමක් කරනවා.

සාමාන්‍ය යොවුන් කතාවක අවසානයේ සියලු ම ගැටලු විසැඳී, පාත්‍රවර්ගයා සතුටින් විසිරීයනවා. ඒත්, සිරකරුවාගේ දියණිය මීට වෙනස් මඟක් ගන්නවා.ඒ පිළිබඳ කතා කළොත්?

ඔව්, ජීවිතේ ඉදිරියට ගලා යා යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැක්ම හා ධෛර්ය ළමයින් සතුද කියන ප්‍රශ්නය තමයි මෙහි දී වැදගත් වෙන්නේ. අද රටේ තිබෙන ප්‍රධාන ගැටලුව එයයි.

සුඛාන්තයක් විදිහට අවසාන වුණොත්, ගැටලු ළමයින්ගෙ ජීවිතයට සම්බන්ධ වෙන්නෙ නෑ. ඉතිරිවන්නෙ නෑ. අපි දකිනවා යෞවන යෞවනියන් රාශියක් තීරණාත්මක ගැටලු හමුවේ වාර්ෂිකව දිවි නසා ගන්නවා. අනිත් රටවල් එක්ක ගත්තම මෙය ඉතා ඉහළ අගයක්. බොහෝ විට ඔවුන් අධ්‍යාපන ඉලක්ක ජයගත් දක්ෂයන්. මෙතනින් මතුවන සත්‍ය කුමක්ද? මේ අධ්‍යාපන ක්‍රමයට නොහැකි වෙලා තිබෙනවා ළමයින් තුළ මේ ශක්තිය, ජීව ගුණය මතු කරගෙන දියුණු කරන්න. ඒ නිසයි නිවැරැදි කලා භාවිතාවක් ළමයින්ට අවශ්‍ය වෙන්නෙ. ඔවුන් ක්‍රීඩාවට, වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට වගේම හොඳ පොත් කියැවීමටත් නැඹුරු කළ යුතුයි. අපේ අරමුණ කතන්දරයක් කීමෙන් එහාට ගිය දෙයක්. ඒක දේශපාලන අරමුණක්. ඒ දේශපාලනය තමයි ජාති, ආගම්, කුල ගෝත්‍ර තුළ සිරනොවී, යහපත් පුරවැසියන් ලෙස සමාජයට ආදරය කරන, සමාජ ප්‍රශ්නවලට සක්‍රීයව මැදිහත් වන දරු පරපුරක් ඇති කිරීම. ඒකට අවශ්‍ය වන මානවවාදී දෘෂ්ටිය ළමයින් තුළ ඇති කිරීම.

සිරකරුවාගේ දියණිය කෘතියෙ නාගරික පැල්පත් ආශ්‍රිත පරිසරයක දිවි ගෙවන ළමයින් පිළිබඳ කතා කරන්න හිතුවෙ ඇයි?

‘සිරකරුවාගේ දියණිය’ නාගරික මුඩුක්කු පරිසරයක නිරන්තරයෙන් ඇතිවන ජීවන ගැටලුවලට මුහුණපාන ළමයින් පිළිබඳ වෘත්තාන්තයක්. ශ්‍රී ලංකාවෙ බොහෝ යොවුන් නවකතාවලට පාදක වෙන්නෙ ග්‍රාමීය පරිසරය. වික්‍රමසිංහයන්ගෙ මඩොල් දූවෙන් ඇරැඹී ඉලංගරත්න මහතාගෙ හපනා, සෝමවීර සේනානයකගෙ ගඟ අද්දර කැලේ වාගෙ කතා බොහොමයක් දිග ඇරෙන්නෙ ගැමි පරිසරයක. ඒත්, යථාර්ථය තමයි ගැමි දරුවන්ට තරම් ම, නැත්නම් ඊටත් වැඩිය ගැටලු නාගරික දිළිඳු ළමයින්ට තිබෙනවා.

ඒ ගැටලු ඉතා ම සංකීර්ණයි. ඒවට සරල රේඛීය ක්ෂණික විසැඳුම් නැහැ. අනෙක් කරුණ තමයි, ඔබට මේ ළමයින් මේ පරිසරයෙන් ගලවලා වෙන් කරලා විසැඳුම් දෙන්න බැහැ. ඇයි? ඒක දේශපාලන ප්‍රශ්නයක්. තව කොපමණ කල් මේ මුඩුක්කු ආශ්‍රිතව ළමයින්ට ජීවත් වෙන්න සිදුවේදැයි අනාවැකි කියන්න බැහැ. මේ පරිසරයෙ සිටින බොහෝ ළමයින්ට මවුපිය ආදරය ලැබෙන්නෙ නෑ. තාත්තලා, අම්මලා දාල ගිහිල්ලා. නැත්නම් සිරගතවෙලා.

ඔවුන් ළමා ශ්‍රමිකයන් ලෙස රැකියාවල යෙදවීම ඉතා ම සුලබව දැකිය හැකි දෙයක්. ඔබ මතු පිටින් බැලූවොත් පෙනෙන්නෙ, මේ ළමයින් අවිනීත, වංක, කපටි මැරයන් පිරිසක් විදිහටයි. එහෙත් ඔවුන්ගෙ ජීවිතවලට ගැඹුරින් එබී බැලූවොත් තමයි, ඔවුන්ගෙ ජීවිතවල සැඟවෙලා තියෙන ඛේදවාචකය පෙනෙන්නෙ.

එහෙනම් නිර්මාණ කරුවා කළ යුත්තේ මේ ගැටලු විසඳාගෙන, එම පරිසරය තුළ ජීවත් වීමට ළමයින් තුළ ධෛර්ය ඇති කිරීමයි. එම ධෛර්යයේ ගිනි පුපුරු ඔවුන් තුළ දැල්වීමයි. අප විශ්වාස කරනවා, යොවුන් සාහිත්‍යයේ යෙදෙන ලේඛකයෙක් කියන්නෙ කතන්දර කීමකට එහා ගිය සමාජ වගකීමක් ඉටු කරන මිනිහෙක් කියලයි.

හිරු යොවුන් කතාවලට ප්‍රතිචාර කොහොමද?

හිරු යොවුන් කතා කියන්නෙ යොවුන් නවකතා මාලාවක්. එම නවකතා එකක් මත එකක් රඳාපවතින්නෙ හෝ යැපෙන්නෙ නෑ. ‘සිරකරුවාගේ දියණිය’ අප තෙවනුව ලියූ පොත. එහෙත් එය පළමුව කියවන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙත් බොහෝ දරුවන් මේ පොත් තුනම පිළිවෙළින් කියවූ අය. ඔවුන් නිරන්තරයෙන් මේ පිළිබඳ විමසීම් කරමින් සිටිනවා. ළමයින් වගේම වැඩිහිටියන්, හිරු යොවුන් කතා ඉතා ආදරයෙන් වැළඳ ගත්තා. ඒ නිසා, හතරවැනි පොත නිම කිරීම වඩා බරපතළ ලෙස දැනෙනවා.

ශ්‍රී ලංකාවෙ තිබෙන්නෙ පරිවර්තන යොවුන් සාහිත්‍යයක්. මේ කෘති ළමයින් ඇසුරු කිරීම ඉතා හොඳයි. ප්‍රශස්තයි. ඉන් ඔවුන්ගෙ රසවින්දනය ලෝක මට්ටමට යාවත්කාලීන වෙනවා.

මෙබඳු පරිසරයක නිර්මාණයක් බිහි කිරීම හරි ම තරගකාරියි. අප හිතනවා හතර වැනි පොත සඳහා වෙනස්ම ආකෘතියක් අනුගමනය කරන්න. එය අද්භූත, එහෙම නැත්නම් ෆැන්ටසි නවකතා වර්ගයේ එකක්.

ළමයින් මන්දගාමී, යථාර්ථවාදී කතාවලට ප්‍රිය නැහැ. ඔවුන් මනාප ඉන්ද්‍රජාලික, අද්භූත රසයෙන් හෙබි ත්‍රාසජනක කතාවලට. අපේ ඊ ළඟ උත්සාහය හිරුත් එක්ක කාලය හරහා ගමන් කරන්න.

ඕනෑම රටක් පිළිබඳ නිවැරැදි චිත්‍රයක් ලබා ගන්න පුළුවන්, ඒ රටේ තිබෙන ළම හා යොවුන් සාහිත්‍යය මඟින්. මේ පොත්වල නිමාව පවා ජනප්‍රියත්වයට හේතු වෙනවා. මේවා ඉතා ම අනර්ඝ නිමාවකිනුයි දියුණු රටවල ළමයින් අතට පත් වෙන්නෙ.

මේ කතා මාලාව පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

අප ආ දුර පිළිබඳ ආපසු හැරී බලන විට, තෘප්තියක් දැනෙනවා. විශේෂයෙන්ම හිරු යොවුන් කතා පිළිබඳ ජ්‍යෙෂ්ඨතම ලේඛකයන් අදහස් පළ කර තිබෙනවා. මේ කෘති හරහා අපට විශාල සමාජ අවකාශයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ඉඩ වඩා සාධනීයව භාවිත කිරීම තමා අපේ අරමුණ.

SHARE