කාන්තාවක් වීඩියෝ කළ ලාංකිකයා දැන් ඩුබායි හිරගෙදර

ඩුබායි හි සාප්පු සංකීර්ණයක පිහිටි ඇඳුම් සාප්පුවක කාමරයක් තුළ ඇඳුම් තෝරා ගැනීමේ නිරතව සිටි එමීර් ජාතික කාන්තාවකගේ සිරුරේ නිරාවරණය වූ තැන් හොර රහසේ ජංගම දුරකථනයකින් වීඩියෝගත කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව ඩුබායි අධිකරණය විසින් මාස තුනක සිර දඬුවමක් නියම කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එම සිර දඬුවම අවසන් වූ වහාම එම ශ්‍රී ලාංකිකයා එරටින් පිටුවහල් කරන ලෙසටද ඩුබායි අධිකරණය නියෝග කර ඇත.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ විසිපස් හැවිරිදි ලාංකික ශ‍්‍රමිකයෙකුට එරෙහිවය.

ඉකුත් පෙබරවාරි මාසයේ ඩුබායි සාප්පු සංකීර්ණයක ඇඳුම් මිළඳී ගැනීමේ නිරතව සිටි තිස් හතර හැවිරිදි එමීර් ජාතික කාන්තාවක් ඇය තෝරා ගත් ඇඳුම් පැළඳුම් ඇගලා තෝරා ගැනීමට ඒ සඳහා විශේෂයෙන්ම වෙන්වූ කාමරයට ගිය අවස්ථාවේදී චූදිත ලාංකිකයා විසින් ඔහුගේ දුරකථනයෙන් එම කාන්තාවගේ සිරුරේ නිරාවරණය වූ තැන් වීඩියෝ ගත කර ඇත.

එම කාන්තාව මෙය දැක බියට පත් කෑගැසීමට පටන් ගෙන ඇති අතර අදාළ නොහොබිනා ක‍්‍රියාව කළ ලාංකික තරුණයා එම ස්ථානයෙන් වහා පළා ගොස් තිබේ.පසුව තමන් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම එමීර්  කාන්තාව ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව එම ලාංකිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අදාළ නොහොබිනා ක‍්‍රියාව සිදු කළ ලාංකිකයාට එරෙහිව ඩුබායි පොලිසිය විසින් කාන්තාවකගේ පෞද්ගලිකත්වයට හිරිහැර කිරීම හා ලිංගික හිංසනයක් සිදු කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

අදාළ චෝදනාව එම ලාංකිකයා පිළිගනු ලැබූ අතර එම නඩු විභාගය පසුගිය 9 වැනිදා අවසන් කළ ඩුබායි අධිකරණය විසින් මෙම සිරදඬුවම පනවා ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි

SHARE