පාන්දර අවදිවන මනිඅම්මා අතට ගන්නේ අතුරුදහන්වූ පුතාගේ ඡායාරූපයයි

යුද්ධය උතුරේ සහ දකුණේ  සෑම ජන කොටසකටම විවිධ අයුරින් බලපෑ දෙයක්  වනවා.

කුරිරු යුද්ධය  නිසා බොහෝවිට පීඩාවට පත්වූයේ  යුද්දය පිළිකුල් කල පිරිසක් වීම ශෝක ජනක කරුණක්.

අම්පාරේ ජීවත්වන මනි අම්මාගේ කතාව එවන් එකක්.

හැමදාම පාන්දර අවදිවන මනිඅම්මා මුලින්ම අතට ගන්නේ අතුරුදහන්වූ තම පුතාගේ ඡායාරූපය  ඇති ඔහුගේ හැඳුනුම්පතයි.


දරුවන්ගේ රැකවරණ තුල ජීවත්විය යුතු වයසක කාන්තාවක වන මනි අම්මාත්  ඇයගේ  ස්වාමියාටත් ඒ සඳහා වාසනාව උදා නොකළේ යුද්ධයයි.

මන්දයත් යුධ සමයේ අතුරුදහන්  වූ තම දුවගේ ස්වාමියා අතුරුදහන් වීමෙන් පසුව ඇයගේ දරුවන්  දෙදෙනා රැක බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ මනි අම්මාට සහ ඇයගේ ස්වාමියාටයි.

 ”මගේ දුවගේ ස්වාමියාත් අතුරුදහන් වුනා. පස්සේ ඇය පිටරට ගියා.නමුත් අද වෙනකන් තොරතුරක් නෑ දැන් ඇගේ දරු දෙන්නා  බලා  ගන්නේ අපි ඔක්කොම කරන්න වෙන්නේ මහත්තයා පොල් කටු හදලා කරන රස්සාවෙන් .”

හැම අම්මා කෙනෙකුගේම හදවතේ  තම දරුවන් පිළිබද මතකය පවතින අතර ඇයගේ පුතා මිය ගියේද ඇගේ දෑස ඉදිරිපිට නොවන අතර  ඇය තවමත් බලා සිටින්නේ පුතා ගෙදර එනතුරුයි.

” යුද්ධය අවසන් වීම ගැන අපි සතුටු වෙනවා .නමුත් අපේ පුතා අතුරුදහන් වීමේ දුක් තවමත් අපේ හදවතින් මැකිලා නෑ.මගේ පුතා අතුරුදහන් වෙලා අවුරුදු කීපයක් වෙනවා . යුද්ධය තිබුනේ එල්ටීටීඊය  සහ රජය අතර .නමුත් අපට අපේ දරුවෝ ආරක්ෂා කර ගන්න බැරි වුනා. මගේ පුතා අතුරුදහන් වූ දා පටන් මට මගේ ජිවිතයේ භාගයක් අහිමි වුණා.”

 

යුද්ධය අවසන් වූ නමුදු  තමන්ගේ මතකයන් තුළ  සිටින නැතිව ගිය තමන්ගේ  මිනිසුන්ගේ මතකය ඔවුන් තුළ  එලෙසෙම පවතිනවා.

තවමත් මනි අම්මා මග බලා සිටින්නේ තම පුතා ගෙදර එන තුරුය .යුද්ධය මිනිසුන්ට ඉතිරිකළ දායාදය එයයි.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි /විශේෂ ස්තුතිය හර්ස්ටෝරිස් ව්‍යාපෘතියට)

 

SHARE