මිනිස් වෙළඳාමේ රතු කට්ටෙන් ලංකාව අමාරුවෙන් බේරේ

නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතරින් මීට පෙර පැවති අවදානම් කලාපයෙන් ඉහළට පැමිණීමට 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නීතිවිරෝධී මිනිස් වෙළඳාමට ගොදුරු වූ රටක් ලෙස නම් කර තිබුණි.

2016 වසරේත් එහි නිරීක‍ෂණ රටක් ලෙස ශ්‍රී ලංකාව පැවති අතර, අවශ්‍ය සාධන මට්ටම කරා ළ`ගා නොවුනහොත් ආර්ථීක සම්බාධක පැනවීමට පවා ඉඩකඩ ඇති බව ඔවුන් විසින් දන්වන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ නිසි මගපෙන්වීම මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ හේතුවෙන් 2017 වසරේදී ශ්‍රී ලංකාව නිරීක‍ෂණ ලැයිස්තුවේ 2 වන මට්ටමේ රටක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන තිබේ.

මෙරට තුළ මිනිස් වෙළඳාම මුලින් උපුටා දැමීම සඳහා අවශ්‍ය කරන අවම ප්‍රමිතීන්ට ළඟා විය නොහැකි වුවද, මෙරට රජය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තු තුළ විශේෂ ඒකක පිහිටුවමින් ගෙන ඇති සාධනීය උත්සහය අගය කිරීම සඳහා මෙසේ නිරීක‍ෂණ ලැයිස්තුවේ ඉහළ මට්ටමකට ගෙන ඇත.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදේශකත්වයෙන් කාර්යාංශය තුළද මිනිස් වෙළඳාම මැඩලීමේ විශේෂ ඒකකයක් 2016.04.07 වන දින පිහිටුවන ලදී.

එම ඒකකය වෙත මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් වූ පැමිණිලි ඝෘජුව වාර්තා කළ හැකි අතර, ඇතැම් පැමිණිලි වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ ඒකකය වෙතද යොමු කරයි.

එසේම එම අංශය මගින් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොදු මහජනතාව දැනුවත් කරමින් නීතිවිරෝධී මිනිස් වෙළඳාම තුරන් කිරීමේ කටයුතුවල නිරත වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කළේ, රජය මිනිස් වෙළඳාම තුරන් කිරිම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා කාර්යාංශයේ නිළධාරීන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවයි.

එසේම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් තමන් රැකියාව සඳහා යොමුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සොයාබැලිය යුතු වන බවත්, විදේශ රැකියාව සඳහා තමන්ට සහය වන සියළු දෙනා පිළිබඳව සියළු තොරතුරු තමන්ගේ ළඟම ඥාතියා සමීපයේ තබායෑමට කටයුතු කරන ලෙසයි.

පසුගිය සමයේ නොයෙකුත් අවස්ථාවල ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස් රැකියා සඳහා යොමුවී විදේශ රටවලදී විවිධ කරදරවලට ලක්වූ පුද්ගලයින් පිළිබඳව වාර්තා වූ බවත්, මේ තත්ත්වය අවම කරගැනීම හුදෙක් රජයේ වගකීමක් පමණක් නොව මහජනයාද එකසේ වගකීමෙන් හා අවධානයෙන් කටයුතු කළ යුතු වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නීතිවිරෝධී මිනිස් වෙළඳාම පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව කාර්යාංශයේ මිනිස් වෙළඳාමට එරෙහි විශේෂ ඒකකය දැනුවත් කරන ලෙසද අමාත්‍යතුමිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

SHARE