ජාතික ආණ්ඩුවේ ඉරණම ගැන තීන්දුව දෙසැම්බර් මාසය ආසන්න වනවිට

නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති වරයා මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රී පවසා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගැනීමට තවත් කල් තිබෙන බැවින් දැනට කලබල නොවිය යුතු බවයි.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා පවසා තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්න තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැතිඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා තිබේ.

සැප්තැම්බර් මාසයේදී ගිවිසුම අවසන් වනවිට නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිස ආණ්ඩුවෙන් ඉවත් වී, අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයාට උදවු කරන අතරතුර, ආණ්ඩුවේ වැරදි නිවැරදි කරන වැඩපිළිවෙළකට යායුතු බව එහිදී ප්‍රථමයෙන් අදහස් දක්වා ඇති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති නිමල් ලන්සා මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ආණ්ඩුව කරන සියලු පාපකර්මවලට නිදහස් පක්ෂ මැතිඇමතිවරුන්ට කරගැසීමට සිදුවිය හැකි බවයි.වත්මන් ආණ්ඩුවේ රැඳීසිටීම ගැන පාක්ෂිකයන් කැමැති නැති බවත්, නිදහස් පක්ෂ මැතිඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන්න පාක්ෂිකයන්ගේ මතය බවත් පවසා ඇති නිමල් ලන්සා මහතා, ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් නිදහස් පක්ෂයට ඉතා අවාසිසහගත තත්ත්වයන්ට මුහණදීමට සිදුවනු ඇති බවද පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනතාවක් පෙළගැසී සිටින බැවින් මේ අවස්ථාවේදී කිරාමැන තීන්දුවක් ගතයුතු බවත්,බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් එළියට එනවිට එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත වන බැවින් ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් එනු ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී අදහස් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද අමරවීර, එස්.බී. දිසානායක,සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් පවසා ඇත්තේ කණ්ඩායමක් වශයෙන් තීන්දුවක් ගත යුතු බවත්, ඒකාබද්ධ විපක්ෂය කෑ ගැසූ පමණින් බියවිය යුතු නැති බවත්ය.

ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍ය අයට ඉවත්වීමට අවස්ථාව තිබෙන බවත්, ඉතිරි පිරිස සමග ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් සරත් අමුණුගම මහතා පවසා ඇතැයිද වාර්තා වේ.

SHARE