ගොකරැල්ල පොලිසියේ 17කට හදිසියේ මාරුවීම්

ගොකරැල්ල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු එම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 17 දෙනකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ(13) සිට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුව මෙම නිලධාරීහු ඊයේ දිනයේ සිට පොල්ගහවෙල , වැල්ලව, වාරියපොල, කුරුණෑගල, රිදීගම පොතුහැර සහ මීගලෑව යන පොලිස් ස්ථානයන් වෙත ස්ථාන මාරුකර යවා තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින් අතරට, මැල්සිරිපුර පොලිස් මුරපොලෙහි ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය සහ පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරු පිරිසක් ද ඇතුළත්ව සිටිති.

ස්ථාන මාරුවීම් ලැබූ 17 දෙනාගෙන් අට දෙනකුම කාන්තා නිලධාරිනියන් වීමද වි‍‍ශේෂත්වයකි. ගොකරැල්ල පොලිසියේ සේවය කරමින් සිටි නිලධාරීන් විශාල පිරිසකට එකවර ස්ථානමාරුවීම් ලැබුණු පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි

SHARE