මහාචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් අද දැයෙන් සමුගනී


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට නොනිමි මෙහෙවරක්‌ කළ අධ්‍යාපනඥවරියක වූ මහාචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය ඉකුත් 14 දා දැයෙන් සමුගත්තාය. ඇයගේ දේහය අංක 64/7 නාවල පාර, නුගේගොඩ යන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18 දා) සවස 4.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ගම්පහ බැලුම්මහරදී 1929.06.08 දා උපන් ඇය කොළඹ විශාකා විද්‍යාලයේද, කොළඹ ආනන්ද විද්‍යාලයේද ආදි ශිෂ්‍යාවක වූවාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ ඇය අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්‌ සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී. උපාධියක්‌ හිමිකර ගත්තාය.

කොළඹ විශාකා විද්‍යාලයේ ගුරුවරියක වූ ඇය පසුව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙසද කටයුතු කළාය. පසු කලෙක මාතර හා තංගල්ල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වූ ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජනරාල් හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ලෙස අධ්‍යාපන ක්‌ෂේත්‍රයට මහත් සේවයක්‌ ඉටුකළාය.

ඇය ලියූ “තුන් යාළුවෝ” ග්‍රන්ථය 1975 දී ලෝකයේ හොඳම ළමා පොත ලෙසින්ද සම්මානයට පාත්‍ර විය. තෙවරක්‌ම ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ විශිෂ්ටතම පුරවැසියාට හිමි ත්‍යාගයද, කාන්තා හා ළමා අභිවෘද්ධියට විශිෂ්ට මෙහෙවරක්‌ කළ කාන්තාවට හිමි ත්‍යාගයද හිමිකර ගෙන ඇත.

SHARE