/
/
title icon කොට උඩ යන අධ්‍යාපනය.
කොට උඩ යන අධ්‍යාපනය.
Editor
1 year ago
Share:
කොට උඩ යන අධ්‍යාපනය.

‘නව’ යන්නෙහි අර්ථය ‘අලුත්’ යන්නයි. මෙම අලුත් යන වචනය ලොකු, කුඩා සියලු දෙනාටම යම් ප්‍රබෝධයක් ඇති කරවීමට සමත් වදනකි. අප සියලු දෙනාම අලුත් අත්දැකීමකට මුහුණ දීමට, අලුත් දෙයක් රස විදීමට, අලුත් භාණ්ඩ පරිහරණය කිරීමට කැමතිය. එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. නව වසරේ ආරම්භයත් සමග ශ්‍රී ලාංකික වැසියන් එම නව වසර පිළිගත්තේ කෙසේද යන්න විමසා බැලීමේදී එය එතරම් සුභදායී ආරම්භයක් නම් නොවීය. සියල්ලන් තුළම ඇත්තේ ජීවන බරෙන් පීඩිත වූ මනසකි. ජීවන බර අහස උසට නගිද්දී සියලු දෙනාට එලොව තරු පෙනී ඇත්තේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙමිණි. මේ අතර උදා වූ නව වසර නිදහස් අධ්‍යාපනයට කණ කොකා හඩන වසරක් බවට පත් වී තිබෙන්නේ සියල්ල අභිබවා පාසල් උපකරණ මිළ සිතාගත නොහැකි පරිදි අහස උසට නැග ඇති බැවිනි.

මෙය කියවන ඔබත්, මෙය ලියන මමත් යන අප දෙපාර්ශවයේම පාසල් කාලය පිළිබඳ මතකාවර්ජනයකට ගමන් කිරීමේදී නව වසරක නව පාසල් වාරය ආරම්භය යනු ඉතාමත් ප්‍රබෝධමත් දිනයකි. අලුත් පොත්, පෑන්, පැන්සල්, මකන යනාදිය තුළින් හමන සුගන්ධය මුළු හිතම නැවුම් බවකින් පුරවාලයි. එම හැගීම වෙනත් කිසිවකින් ලබා ගැනීමට නොහැකි බව අප දනිමු. නමුත් වර්තමානය වන විට මෙය හාත්පසින්ම වෙනස් තත්ත්වයකට ගමන් කරමින් තිබේ. රටක අනාගතය සහ සංවර්ධනය තීරණය කරනු ලබන ප්‍රධාන නිර්ණායකයන් අතර අධ්‍යාපනය ප්‍රධාන වෙයි. නමුත් ලංකාව තුළ පවතින ආර්ථික, දේශපාලන හා සමාජීය හේතු කාරණා මත එම නිර්ණායකය ඉදිරියට රැගෙන යාමට හැකි වන්නේද යන්න ගැටලුවකි.
පාසල් අධ්‍යාපනය සදහා අවශ්‍ය පාසල් උපකරණ, පොත්පත්, පෑන්, පැන්සල්, සපත්ත, බෑග් ඇතුළු පාසල් උපකරණ සියල්ලන්ගේම මිළ සියයට දෙසීයක් පමණ ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබේ. මෙම තත්තවය මත ඉතාමත් අසරණ භාවයට පත් වන්නේ දෙමාපියන්‍ ය. මන්ද යත් දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම දෙමාපියන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ සදහා වඩා සුදුසු ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීම ප්‍රමුඛ වෙයි. නමුත් දරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩියෙන් සිටින නිවසක දෙමාපියන්ගේ පපුවේ හත වැදී ඇත්තේ දරුවන්ගේ අනාගතයට අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබීම හේතුවෙනි. ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් රජයට බදු ගෙවනු ලබන්නේ තමාටද ආපිට ලැබිය යුතු සේවාවක් බලාපොරොත්තුවෙනි. නිදහස් අධ්‍යාපනය ඒ අතර ප්‍රමුඛ වෙයි. වර්තමාන ආර්ථික, සමාජ, දේශපාලන පසුබිම මත පමණට වඩා බදු මුදල් ගෙවීමට සිදු වූවද එයින් පුරවැසියාට ලැබෙන ප්‍රතිලාභයක් නොමැති තරම් ය. එම තත්ත්වය මත පාසලටද මුදල් ගෙවමින්, තවත් පාසල් උපකරණ වල මිළ ගණන් අහස උසට නැගීම දෙමාපියන්ට දරාගත නොහැකිය.

නමුත් සෝචනීය තත්ත්වය වන්නේ මේවා පිළිබඳ කතා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමයි. ලාංකීය මාධ්‍ය කලාව පිළිබඳ විමසා බැලුවද ඔවුන්ට ඇති සිවිශාලම ගැටලුව බවට පත් වී තිබෙන්නේ බිත්තර ගැටලුව යි. රුපියල් 60-65 අතර අලෙවි වන බිත්තරය මූලික කර ගනිමින් අතිශයෝක්තියෙන් යුතු ප්‍රවෘත්ති නිර්මාණය කරමින් මාධ්‍ය විසින් ග්‍රාහකයන් නොමග යවන්නේ යටි අරමුණු සහිත සැලසුමකට අනුවයි. මෙතරම් ආර්ථිකය බිද වැටී, මන්දපෝෂණය දිනෙන් දින වැඩි වන, අධ්‍යාපනය කඩාකප්පල් වීමේ තර්ජනයට ලක් වී ඇති අවධියක බිත්තරයක් මුල් කර ගනිමින් සමාජය හසුරුවන්නේ මන්දැයි සිතීමේ සිතීමට එක පිම්මේ ජීවන අරගලයේ යෙදෙන ග්‍රාහකයාට කාලයක් හෝ නිදහස් මනසක් නොමැත. නමුත් එයින් අවබෝධ වන්නේ සමාජයේ වගකිව යුතු පාර්ශවයක් ලෙස ප්‍රධාන පෙළේ මාධ්‍යයට බිත්තරයක් තරම්වත් අධ්‍යාපනය නොවටිනා බව නොවේද?

හීන බොද වූ අනාගතයක් පිළිබද බොහෝ දෙනෙක් නව මාධ්‍ය තුළ බෙහෙවින් කතා බහට ලක් කරයි. නමුත් මේ හීන බොද වූ අනාගතයකට යාමට අපට සිදු වූයේ කවුරුන් නිසාද? වැලි පිල්ලේ, ගල් ලෑල්ලේ අකුරු කල යුගය නිමා කරමින් වත්මන් පරම්පරාව වෙත මිනිසා ගමන් කරන ලද්දේ තාක්ෂණයේ දියුණුවත් සමග ඇති වූ විවෘත ආර්ථික ක්‍රමය නිසාවෙනි. නමුත් මේ වන විට එම පරම්පරාවට සිදු වී තිබෙන්නේ නැවත ගල් යුගය වෙත ගමන් කිරීමටයි. ක්‍රමය මෙසේ වෙනස් නොවී තව දුරටත් රැගෙන යාම ඉතාමත් බරපතලය. එසේ නම් වෙනස ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ. එම වෙනස උදෙසා හැගීම් වලින් පිටතට පැමිණ මොළය පවිච්චි කිරීම අප සැමගේ යුතුකමක් වන්නේය.

සනෝජා රංහොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required