
විදුලි බිල ඉහළ යෑම නිසා තම නිවසින් රෙදි මදින්නට එපා යැයි කියූ මවකට පහරදුන් පුතෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අගලවත්ත – ඔමත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් පුත‍්‍රයා බස් රථ රියදුරෙකු වන අතර, ඔහුගේ නිවසේ විදුලිබිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඔහු රෙදි මැද ගැනීම සඳහා යාබදව පිහිටි තම මවගේ නිවසට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී 66 හැවිරිදි මව පවසා ඇත්තේ විදුලිබිල ඉහළ යෑම නිසා තම නිවසෙන් රෙදි මැදීම සිදු නොකරන ලෙසටයි.
එහිදී මව සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පුත‍්‍රයා මවගෙන් කෙස් වැටියෙන් අල්ලා පහරදුන් බවට ඇය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්. ඒ අනුවයි සැකකාර 37 හැවිරිදි පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.