/
/
title icon ලොවක් මවිත කළ ජසින්ඩා ආඩර්න්.
ලොවක් මවිත කළ ජසින්ඩා ආඩර්න්.
Editor
1 year ago
Share:
ලොවක් මවිත කළ ජසින්ඩා ආඩර්න්.

“ජසින්ඩා මේනියා” නමින් නවසීලන්තය තුළ පමණක් නොව ලොව පුරා අතිශය ප්‍රසාදයට ලක් වූ නවසීලන්ත අගමැතිනිය ‘ජසින්ඩා ආඩර්න්’ අගමැති තනතුරට තවදුරටත් සුදුසුම තැනැත්තා තමන් නොවන බව පවසමින් 2023 පෙබරවාරි 07 වන දින ධූරයෙන් ඉල්ලා අස් වූයේ නැවත මැතිවරණයට තරඟ නොකරන බව පවසමිනි.

2017 මාර්තු 01 දින කම්කරු පක්ෂයේ නායක ඇන්ඩෲ ලිට්ල් තම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා ජසින්ඩා ආඩර්න් තෝරාගත් අතර 2017 ජූලි 31 වන දින තම ධූරයේ වැඩභාර ගත්තේ සැප්තැම්බර් මස පැවැත්වෙන මැතිවරණයට නායකත්වය ලබාදීමේ අභියෝගය හමුවේය. මැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවුනද සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම මත 2017 ඔක්තෝම්බර් 26 වන දින නවසීලන්ත අගමැතිනිය වශයෙන් ජසින්ඩා ආඩර්න් දිවුරුම් දුන්නේ ලෝකයේ ම අවධානය තමන් වෙතට නතු කරගනිමින් ය. ඒ වන විට 37වන වියෙහි පසු වූ ඇය 1856න් පසුව නවසීලන්තයේ නායකත්වයට පත් වූ ලාබාලතම කාන්තාව ලෙසින් ඉතිහාසයට එක්විය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මෙන්ම ජාතිභේද කිසිවක් දක්නට නොලැබෙන අතර සියලු ජනකොටස් වෙතට එක හා සමානව සැලකීම සරණාගතයන්ට ද පොදු විය. 2019 ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇය කටයුතු කළ ඒ ප්‍රශංසනීය ආකාරයෙන් ඒ බව පසක් වේ. ප්‍රහාරයෙන් පැය 24 යාමට පෙර සමාජ මාධ්‍ය අවහිර කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පුරවැසියන්ට වෛරයට එරෙහි වන ලෙසත් නවසීලන්තය තුළ වර්ගවාදයට ඉඩක් නොමැති බව පැවසුවා ය. අවම වශයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කළ තැනැත්තාගේ  නම හෙළිනොකිරීමට තරම් දූරදර්ශී විය. ප්‍රහාරයෙන් මියගිය පිරිස්ගේ ආදාහන කටයුතු සඳහා සහභාගී වෙමින් ඔවුනට ගරුකිරීමක් ලෙසට ‘හිජාබය’ පැළඳීමට කටයුතු කරමින් මානවහිතවාදී නායිකාවක් බවට සනාථ කරන ලදී.

ධූරයේ සිටිය දී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවැනි නායිකාව ලෙසට ඇය ඉතිහාසගත වූ අතර වරෙක ඇය පැවසූවේ වැඩ කිහිපයක් එක විට කරන පළමු කාන්තාව තමන් නොවන බවත් සේවා කරමින් දරුවන් ලද පළමු කාන්තාව ද තමන් නොවන බවය. 2019 පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම තම කුඩා දියණිය සමඟ සහභාගී වීම ලොව කාගේත් අවධානයට යොමුවිය.

2019 දී තමන් ධූරය දැරූ වසර දෙකක කාලය ඇතුළත තමන් රටට කළ වැඩ සියල්ල විනාඩි තුනක් ඇතුළත රටවැසියන්ට ඉදිරිපත් කරන ලදී. එය සමාජ මාධ්‍යයන්හි වේගයෙන් ලොව පුරා පැතිරෙන ලදී. ඇයගේ ක්‍රියාකලාප හේතුවෙන් 2020 මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා  තනි ආණ්ඩුවක් පිහිටුවීම ඇය සමත් වූවාය. ග්‍රෝතික ජනතාව විෂයෙහි විශේෂ ඇල්මක් දැක්වූ අතර ඔවුනගේ යටිතල පහසුකම් දියුණු කිරීමට ද කටයුතු කළාය. දේශීය ඇඳුමක් වන ‘මාඕරී සළුව’ පැළඳගෙන ඇය විදෙස් සංචාර සඳහා සහභාගී වූ අතර තම ආණ්ඩුවේ විදෙස් ඇමති ලෙසට මාඕරි කාන්තාවක් පත්කිරීම ලොව කාගේත් අවධානයට ලක්විය.

කොරෝනා වසංගතය සඳහා ඇය විසින් දියත්කළ ක්‍රියාපිළිවෙත නිසා නැවත වරක් ලොව පුරා ජනප්‍රියත්වයට පත් විය. කොරෝනා අනතුරු ඇඟවීමේ පද්ධතියක්  ප්‍රකාශයට පත්කිරීම සඳහා මිනිත්තු අටක ප්‍රකාශයක් ජාතිය අමතා ඉදිරිපත් කිරීම ලෝකයේම යොමු වූ අතර කඩිනමින් පියවර ගනිමින් සක්‍රීය අන්දමට කටයුතු කරමින් වසංගතය මනාවට පාලනය කිරීමට සමත්වූවා ය.

මෙලෙස අර්බුද හමුවේ ක්‍රියාකළ ආකාරය මෙන්ම ඈ සතු නායකත්වය අරභයා වූ ගුණාංග හේතුකොටගෙන ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක් වූ ඇය 2021 ලොව විශිෂ්ටතම නායිකාව ජසින්ඩා ආඩර්න් ලෙසට ෆෝචූන් සඟරාව විසින් නම් කරන ලදී. “වියජග්‍රහණය අභියස ජනතාව පෙරමුණෙහි තබා ඔබ ඔවුන් පසුපසින් හිඳ නායකයත්වය දිය යුතුය. එහෙත් අභියෝගයක් හා අනතුරු අභියස ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පත්වනු ඇත.” නෙල්සන් මැන්ඩලේටාගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරලූ දීප්තිමත් තාරකාවක් ලෙසට නවසීලන්ත දේශපාලනයට සමුදුන්  හිටපු අගමැතිනිය  ජසින්ඩා ආඩර්න් මෙලෙස  හඳුනාගත හැකිවන්නේ ය.

උෂාරා කළුදුර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required