/
/
title icon වැව හා බැඳි සංස්කෘතිය
වැව හා බැඳි සංස්කෘතිය
Editor
1 year ago
Share:
වැව හා බැඳි සංස්කෘතිය

ලාංකේය ජන සමාජය සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වී ගොවිතැනට ජීවය ලබා දීමට සැකසුණු විශිෂ්ට නිර්මාණයක් වූ වැව හේතුකොටගෙන මෙරට වාපි සංස්කෘතියක් බිහිවිය. වැව සාමූහික ප්‍රයන්තයක ප්‍රතිඵලයක් විය. වැව් දියෙන් තම කෙත් වතු රන් කරලින් බරවන අයුරු තුටු සිතින් දැක වැව අගනා සම්පතක් බවට පත් වූ අතර තම දිවි පෙවත පවත්වා ගෙන යාමට කලණ මිතුරෙකු සේ පිහිට වන වැවට සජීවි බවක් මෙන්ම ගරුත්වයක් ආරෝපණය කොට දේවත්වයෙන් සැලකීමේ ප්‍රතිඵලය වූයේ  වැවෙහි ආරක්ෂාවට තහංචි වර්ග පැනවීම ය. හිසේ ජටාවක් බැඳ හෝ රතු පැහැ රෙදිකඩක් ඇඳ වෑකන්දෙන් යාම තහනම් ය. වෑකන්ද උඩින් මළමිනී හෝ හරකුන් ගෙන යාම තහනම් ය. සාගර පරදන වැව් සදා දුන් රජුන්ට කලගුණ සැලකීම මෙන්ම ගෞරව භක්තිය පුද කිරීමට උත්සුක වීමේ ප්‍රතිඵලය වූයේ වැව් තනා දුන් රජුන්ට දේවත්වයක් ආරූඪ කිරිමට අතීත ජනයා කටයුතු කිරීම ය. නිදසුන් වශයෙන්  මින්නේරි වැව මහසෙන් දෙවියන්ට ද, කලා වැවට සෙනරත් කඩවර දෙවියන් ද අධිගෘහිත යැයි විශ්වාසය මත දෙවිවරු සඳහා දේවාල නිර්මාණය කර වන්දනාමාන කිරීමත් වාර්ෂික පෙරහැර මංගල්‍යයන් ද පැවැත්වීමත් ය.අධික වැසි හේතුවෙන් වැව් ජලයෙන් පිරී පිටාර ගලන උවදුරු අවස්ථාවල දී වැවට අධිපති දෙවියන්ට බාර වී “නිහර වී පූජාව” අතීතයේ සිට පවත්වනු ලබන්නේ ය.

වාපි සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වූ දියවර මංගල්ලය ගොවිතැන් කටයුතු සඳහා පළමුවර ජලහරණය උක්ත කරගනිමින් පවත්වන අතර වෑකන්දට රැස්වන පිරිස කිරි උතුරවා වැව් ජලයට වන්දනාමාන කොට සුබ නැකතට අනුව ජලය නිකුත් කරයි. සශ්‍රීකත්වය පතා සිදුකරන “මුට්ටි නැමිමේ මංගල්‍යය” නම් වූ පූජාකර්මයක් ද දක්නට ලැබේ. වැව කේන්ද්‍ර කොටගෙන ගම්මාන,  ආගමික ස්ථාන බිහි වූ අතර “වැවයි දාගැබයි- ගමයි පන්සලයි” යන උදාරතර සංකල්පය ලාංකේය ජන සමාජයේ ප්‍රචලිත වූ අතර  වැව කෘෂිකාර්මික අවශ්‍යතා පමණක් සපුරාලන්නක් නොවේ. එය සමාජ සම්බන්ධතා ද ගොඩනංවන පූජනීයත්වයෙහි ලා සලකන දේශීයත්වයේ  සලකුණක් ය.

උෂාරා කළුදුර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required