
දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ, පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.
යාපනය – මරදන්කේනි ප‍්‍රදේශයේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර, ඊට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාගේ පක්ෂයේ සංවිධායකවරියක සහ තවත් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, තමන්ට අද දිනයේදී කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකු පැමිණ විදෙස් ගමන් තහනම පිළිබඳ දැනුම්දීමක් සිදුකළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.
කෙසේ වෙතත්, අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත‍්‍රීවරයාට මරදන්කේනි පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇති බවයි.
එහෙත් ඔහු එහි නොපැමිණීම නිසා පොලිසිය කිලිනොච්චි මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම විදෙස් ගමන් තහනමට අදාළ නියෝගය ලබාගෙන තිබුණා.
මේ අතර, සිංහල රාවය සංවිධානය අද කතානායකවරයා වෙත ලිපියක් භාරදී තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි.