
කප්පම් ලබාගැනීමේ අරමුණින් පැහැරගත් කඳාන හපුගොඩ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයා මුදාහැර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.
කඳාන හපුගොඩ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ වැඩිමහල් පුත‍්‍රයා කිසියම් පිරිසක් ඊයේ පැහැරගෙන ගොස් තිබූ අතර, පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණයා නිදහස් කිරීමට ඔහුගේ පියාගෙන් රුපියල් ලක්ෂ 56ක මුදලක කප්පමක් ද ඉල්ලා ඇති බවයි. ඊයේ උදෑසන වත්තල – කෙරවලපිටිය ප‍්‍රදේශයේදී ඔහු ගමන්ගත් සුඛෝපභෝගි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් තිබුණා.
පියාගේ මුදල් ආරවුලකට අදාළව මෙම තරුණයා පැහැරගෙන ගොස් ඇති අතර, ඔවුන් විසින් රුපියල් ලක්ෂ 56 ක මුදල ගිණුමකට තැන්පත් කරන ලෙස දැනුම් දී තිබෙනවා. පසුව තරුණයාගේ පියා විසින් අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුවයි පැහැරගත් පිරිස තරුණයා නිදහස් කර ඇත්තේ.
පසුව විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම් විසින් කප්පම් මුදල් තැන්පත් කළ ගිණුම් අංකය මගින් ගිණුම් හිමියා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි සිද්ධියට අදාළව සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස පහැරගැනීමට ලක්ව තිබුණේ නඳුන් කෞෂල්‍ය විජේසිංහ නැමති 22 හැවිරිදි තරුණයෙක්.