පිලාර් දෙව්සත්හලට පහලින් ශ්‍රීදාවෝ ඉඳන් මන්දූර් දෙසට වැටිල තියෙන පාරේ එක පෙළට තියෙන ටකරං ඇස්බැස්ටොස් වහපු කඩ පේලියේ වහලට උඩින් සුආරි කෝච්චි පාලම පැත්තෙන් රතු පාටට ඉර බැහැගෙන යනවා. එළෝලු කඩ, තේ කඩ, බියුටි සැලොන්, කොමියුනිකේෂන්, පේස්ටි්‍ර ෂොප්, කඩල කඩ, පෙට්ටි කෑම කඩ, බීමහල්, උක්දඩු කරත්ත, මිදි ලෑලි පහුකරගෙන මමයි, තොඩුවාවෙ ෂෙල්ටන් අයියයි අමුල් කිරිපිටි පැකට් එකක් හොය හොයා මන්දූර් පැත්තට ඇවිදගෙන යනවා. හැම තැනම තියෙන්නෙ දියර කිරි. පැයක් විතර කරක්ගහල අමුල් පැකට් එකකුයි ලොගු ජෝගුවකුයි, හීටරේකුයි අරගෙන අපි නතර වෙලා හිටපු පිලාර් දෙව්සත්හලට එනකොට හවස හයට විතර ඇති.
මේ 2015 ජනවාරි අට නැන්තං නවය. අපි ගෝවට ආවේ ජනවාරි 14 දා ශුද්ධවරයට ඔසවන ජුසේ වාස් මුනිතුමාගේ වාර්තා චිත්‍රපටය හදන්න. සුනිල් කොස්තයි, ගරු ලාල් පුෂ්පදේව පියතුමයි එක්කයි ඒ ගමන ගියෙ. සුනිල් ගිය ගමන් මට වගකීමක් බාර දුන්නා. නිෂ්පාදන කළමනාකරු හැටියට. මට තියෙන්නෙ කෑම බිම, ඉඳුම් හිටුම්, යාන වාහන සැලසුම් කරන එක. නාඳුනන රටක ඒක බෙල්ල යන වැඩක්. ඒත් ගෝව ගැන දන්න ෂෙල්ටන් අයිය හයියට හිටපු එක ලොකු සැනසීමක් වුනා. පහුවදා උදේ හතරට තේ එක හදන්න හීටර් එක ගහගන්න බැරුව අන්තිමේ නාන කාමරේ පයිප්පෙන් එන උණු වතුරෙන් අනිත් අයට තේ හදා දීල අපි ෂේප් වුනු විත්තිය මං මීට කලින් ලිව්වද කොහෙද.
ඒ වගේ රස්සාවක් ඊයෙ පෙරේදා ආයෙත් කරට ආවා. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවයි ජාතික කතෝලික ජන සංනිවේදන මධ්‍යස්ථානයයි එකතු වෙලා ලංකාfවි පසන් ලතෝනි සංරක්ෂණය කරන වැඩ සටහනක් සැලසුම් කරල තිබුනා. ඒකෙ නිෂ්පාදන කළමනාකරන රාජකාරිය පැවරිලා තිබුනෙ ලින්ටන් ප්‍රනාන්දුට වුනත් මීපුර අදියරේ තෙදිනෙන් දින දෙකක් මට අදින්න සිද්ධ වුනා. ඉස්සරින්ද මුන්නක්කරේ පැත්තෙන් හඳ මොදුවෙනකං සාකච්ජා කරල ආහපු හිමිදිරි පාන්දර පිටිපන බසියවත්තෙ රා තැබෑරුම කිට්ටුව මීගමු කලපුව අසල කඩොලාන යායට ආවෙ රූගත කිරීම් පටන් ගන්න. පිටිපන, බසියවත්ත, අලුත්කූරුව, වැල්ලවීදිය ප්‍රදේශවල අති දක්ෂ පසම් ගායනා කණ්ඩායම් කම්පිත හඩින් ශෝකි විලම්බනයන් ඉස්මතු කරමින් කැමරාව ඉදිරියේ ගායනා කලා. කරදර කරන කාක්කො එලව එලව කන බොන දේවල් ලෑස්ති කරන්න තමා අපිට පැවරුනේ. හැමදේටම උදව්කලේ පිටිපන නෙල්සන් දරිජු මිත්‍රයා. ඔහු බොහොම සුභවාදි මනුස්සයෙක් ඕනෑම ගැටලුවකට උත්තරයක් තිබුනා. ඒක මට ලොකු හයියක් වුනා. ඥානාර්ථතෙට ලියන පිටිපන පිටිපන මා. ජයවීරත් පස්සෙන්ම හිටියා.
“සැඟවී පණගොස් කුරුසේ මත වැඩ සිටිනා”
ඉරත් අවරට යන්න තනනවා, කලපු හුළගත් එක්ක මුසු වෙවී පසන් ගීත කම්පා හඩින් ගායනා වෙනවා. තව කීයක් තියෙනවද, තව කීයක් තියෙනවද කිය කිය එකල මෙකල වෙමින් අපි එහෙට මෙහෙට දුවන ගමන්,
“දවල්ට කෑවද, තේ බිව්වද, කේක් කෑල්ලක් කන්ඩ.” කිය කිය ස්වෙච්ජාවෙන් පසම් කියන්ඩ ආපු වැඩිහිටියන්ට සත්කාර කරනවා. රෑ වෙනකොට පිටිපන වීදිය පල්ලිය පිටිපස්සෙ මුූදු වෙරළෙ මෝරවලේ රූපගත කිරීම් වලට දුවනවා. දිගාන්තය අනේක අයස්කාන්ත පැහැ ගන්වමින් ක්ෂිතිජයේ කිමිදෙමින් හිරු මුහුදුබත් වෙනවා. කළුවරට එල්ඊඩි පහන් දල්වාගෙන ජයදේව මෙන්ඩිස් රූගත කිරීම් කරගෙන යනවා. අටට විතර විදුලිය විසන්ධි වෙනවා. පියතුමා හැමෝටම තේයි බනිසුයි ඉල්ලනවා. මං ආයෙමත් අසීරුවට පත්වෙනවා. ඒ වෙලාවෙ තමුන්ගෙ ත්‍රීවිලරය අරගෙන නෙල්සන් දරිජු උදව්වට එනවා. ඉටිපන්දම් ගහපු බේකරියකින් අඩ හතලිහක් අරගෙන, තේ ගන්න කඩයක් හොයනවා. කඩ සේරම වහල. තේ කොලයි සීනියි අරගෙන නෙල්සනුයි, මා ජයවීරයි, මමයි නෙල්සන්ලෑ ගෙදරට ගිහින් නෝනගේ අනුග්‍රහයෙන් තේ ටික හදාගෙන ගෙනැත් දීල ඔලුව බේරගන්නවා.
පහුවදා උදේ රූගතකිරීම් තියෙන්නෙ වෙන්නප්පුව ගිංඔය අසබඩ කුරුස තොටුපලේ. දූවෙ පසම් කණ්ඩායම් එහෙ ගෙනියන්ඩ ලෑස්ති කරපු බස් එක උදේ කියනවා ඩීසල් නැති නිසා එන්ඩ බෑ කියලා. ඒ ගමන දවල් වෙනකම්ම මීගමුව නගරය පුරා වාහන හොයනවා. ත්‍රීවීලර් වලයි, පුද්ගලික වාහනවලයි පිහිටෙන් උදේ පටන් ගන්න හිටපු රූගත කිරීම් දවල් දෙකට විතර පටන් අරගෙන රෑ එක වෙනකං ඇදෙනවා. හරිම මාන්සියි. දෙවෙනි දවසෙත් උදේ ඉදන් රෑ දොලහ පහුවෙනකං රූගත කිරීම් සිද්ධ වෙනවා. කොච්චර අමාරු වුනත් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා නිර්මාණය කළ පසම් අපූරුවට සංරක්ෂණය වෙනවා. ඒක තමයි ලොකුම සතුට.