රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අමාත්‍යාංශ කිහිපයකට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ සහ මරණ ලේඛනයන් හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබඳව ඇතැම් ආයතන විසින් කාලසීමාවන් දැක්වීම නිසා (උදා- සහතික නිකුත් කළ දින සිට මාස 06 ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බව) සහතික පිටපත් ලබා ගැනීමට මහජනයා විශාල වශයෙන් පෙළඹවීමක් සිදුව ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම දැනුවත් කිරීම සිදුකර ඇත්තේ.