සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි හුස්ම හිර කර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ මීගමුව මහ රෝහලේදී සිදු කරනු ලැබුවා.
මේ අතර ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඝාතනය කළ චීවරධාරියාගේ ඩුබායිහි සිටින පෙම්වතිය, මෙරට සිටින ඇගේ මව සහ මවගේ අනියම් සැමියා ඝාතනය සැළසුම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.
සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පසුගිය 14 වන දා සොයාගත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.
විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ සිටි 18 හැවිරිදි ගෝල හිමිනම අතුරුදන්ව සිටි අතර, පෙරේදා දිනයේදී එම චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදියි. වැඩිදුර පරීක්ෂණවලදී මෙම චීවරධාරියා පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුලූ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.
හිමිනම ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින කාන්තාවට යැවීමට සැළසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගත් චීවරධාරියා අනාවරණ කර තිබුණා.