සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි හුස්ම හිර කර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි ගෝල හිමිනම මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පොලිසියට ලද තොරතුරකට අනුව පසුගිය 14 වන දා සොයා ගැණුනා.
ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ගෝල හිමිනම පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුලූ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.
ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට පුද්ගලයෙකුට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින කාන්තාවට යැවීමට සැළසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගත් ගෝල හිමිනම අනාවරණ කර තිබුණා.
ඒ අනුව, අදාළ පුද්ගලයාද අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුද මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.