හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් හිටපු ජනාධිපති බිරිඳට ඇමතුම් 30 ක් පමණ ලබාදී බවටයි අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළොන්නාව – සාලමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුලූවී එහි විකාශන කටයුතුවලට බාධා සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් දැමුණා.
ඒ, එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
එහිදී සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ධානිෂ් අලි ඇතුලූ සැකකරුවන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඒවා ත්රස්ත විමර්ශන කාර්යාංශයට යොමු කර පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසයි.