නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ හටගෙන ඇති දෝෂය හේතුවෙන් පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ, අමතර කාලයක් විදුලිය කප්පාදු නොකර අද සහ ඉදිරි දින කිහිපය සඳහා පද්ධතිය පවත්වාගෙන යෑම සඳහායි.
කෙසේ වෙතත් අද දිනයේ සිට යළිත් පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.
මේ අතර විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු ද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ බිඳ වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මේ වනවිට මෙගාවොට් 600 ක් පමණ පද්ධතියට අහිමිවී ඇති බවයි.
එසේම, නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ හටගෙන ඇති දෝෂය අළුත්වැඩියා කිරීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.