පුංචි ළමයි මල් වගේ. සියුමැලි, බොලදයි. ලස්සනයි. ඒ හිත් වල තරහ නෑ. නපුරුකම් නෑ. අවංකයි. බොලදයි. සැහැල්ලුයි. හැබැයි අද කාලේ පුංචි හිත් හරි බරයි. ඇයි මම එහෙම කියන්නෙ? අද කාලේ යෞවනය, උපන්, නූපන් යන කාණ්ඩ ත්‍රිත්වය අවාසනාවන්ත අනාගතයකට මුහුණ දෙනවා, මොකද, ඒ ලස්සන ළමයින් ඉපදුනේම ගෑස් නෑ, පිටි නෑ, තෙල් නෑ, කන්ඩ නෑ, ඉන්ඩ නෑ, කියල නිතර අහන ඍණාත්මක ලෝකයක. වැඩ වර්ජන, කෝච්චි බස් වර්ජන, රාජ්‍ය සේවක වර්ජන තියෙන කලබලකාරී සමාජයක. කොහු පාරවල්, දූෂණ, වංචා, අහන දකින අපායක. ඉස්කෝල නෑ හැබැයි zoom තියෙන, දවසම zoom හැබැයි, කරපු වැඩකුත් නැති, අකුරු නොකෙරෙන ඩෙස් පුටු නොදකින බිත්ති හතරක කොටුවුන, කන්නන්ගර මහත්තය දීපු නිදහස් අධ්‍යාපනය තියෙන ආසියාවේ මුතු ඇටයක.
තුන්සිය හැටපස් දවසින්, තුන්සිය හැට හතරක්ම දරුවන්ට අසීමිත දුක් දීලා, එක දවසක් තෝරගෙන ලොකු උජාරුවට ලෝකෙටම පේන්න “සිහින දකින – අපේ ලොවක්” ලෝක ළමා දිනය -2022 කියලත් ගහලා. පුංචි හිත් වලට අනාගතේම සිහින දැක දැක ඉන්න හීන ලෝකයකුත් දැන් හදලා.
හිතක් පපුවක් නැති, මොළයක් නැති, ලද බොලද වැඩ කරන ළමයි පිරිසක් බිහි වෙන්න හේතුව මොකක්ද? මේ විකෘති සමාජයම නොවෙ ද? කොළපාට සුන්දර පරිසරයෙන් පොඩි උන් ඈත් කරලා සිමෙන්ති ගොඩවල් එක්ක ලස්සන ජීවිත හිර කරලා. ඒ හිත් සිමෙන්ති වගේම හරි හයිය වෙලා. අමර නයනා සල්මල් පොතේ පිටු එක්ක ගෙව්ව ජීවීත අතට අහුවෙන ප්‍රමාණෙ පොඩි යකඩ කෑල්ලකට සීමා කරලා. ඒ හින්දම ඒ හිත් වල චින්තනය, පරිකල්පනය නැතිවෙලා.. ගහේ වැලේ හැදෙන කෑම පිගානක් එක්ක ශක්තිමත් වෙච්ච කාලය අමතක කරලා, අහස උසට නැන්ගත්, “ලේසිනෙ” කියලා පිටි ගොඩවල් වලට හුරු කළා. ආර්ථික අර්බුදයත් එක්ක “ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට” පෙරදිග ධාන්‍යාගාරයත් ඔන්න දැන් තේරිලා.
මොනම හේතුවක් නිසාවෙන් හෝ ඉතා සුලු පිරිසක් කිසිදු හැගීමක් දැනීමක් නොමැතිව ඕපපාතික ජීව්ත ගෙවුවත්, බහුතරයක් පුංචි ළමයි ඔවුන්ගෙ පවුලත් එක්ක ජීවිතේ ගැටගහගන්න මාරම කට්ටක් කනවා. ඔවුන් රටේ දරුණු ආර්ථික අර්බුදයේ ගොදුරක් වෙලා. ඒකයි, පොත් බෑගයට කලින් හාල් බෑග් එකට මුල් තැන දෙන්නේ.
චොකලට් එකයි ගෙදර බඩු මල්ලයි තියල තේරීමක් කරන්න කිවුවොත් ඒකයි ඒ අහින්සකයෝ ගත්ත ගමන් ගෙදරට අවශ්‍ය බඩු මල්ල තෝරගන්නෙ. ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ “ගෙදර හැමෝටම ඒක කන්න පුළුවන්නෙ” කියල. ඒ නිසාමයි මම කිවුවෙ අද කාලේ පුංචි හිත් හරි බරයි කියලා..
නෙත්මිණි ගුණවර්ධන