/
/
title icon විසිදෙකේ වගකීම අධිකරණ ඇමති විජේදාසට.
විසිදෙකේ වගකීම අධිකරණ ඇමති විජේදාසට.
Editor
2 years ago
Share:
විසිදෙකේ වගකීම අධිකරණ ඇමති විජේදාසට.

මෙම සතියේ විවාදයට ගැනීමට සැලසුම් කර ඇති  22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවට වාර්තා වනවා.

ඒ, ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වී ඇති අතර එහිදී 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව දීර්ඝ වශයෙන් සංවාදයට ලක්කර ඇති බව සඳහන්.

පසුගිය මස 29 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වුණේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදය මේ මස 06 සහ 07 පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මේ මොහෙතේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට මන්ත්‍රීවරුන් රැසක් කරුණු දක්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සතු බලතල රටට මේ මොහොතේ අවශ්‍ය වන බවයි.

එමෙන්ම, එම බලතල අත්හැරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සතු බලතල අවශ්‍ය බවටත් ඔහු පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව මේ මොහොතේ සිතිය යුතු අවස්ථාවක් නොවන බවටද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30 කට වැඩි පිරිසක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට විරුද්ධත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඊට පාර්ලිමේන්තුවෙන් සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබෙනු ඇති බවට එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. එය ජනාධිපතිවරයාට ද ගැටලූවක් වනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පෙන්වා දී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග  සඳහන් කළේ.

එවන් පසුබිමක 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදිය යුතු බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙහි දී පෙන්වා දී තිබෙනවා.

මේ අතර, විවාදයට ගැනීමට නියමිත මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද පාර්ලිමේන්තුවේ දී රැස්වන්නේ විෂය භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇතිි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required