මිනිස්සු ඉපදෙනවා, ජීවත් වෙනවා මැරෙනවා. ඒක තමයි ස්වභාවධර්මයේ නීතිය. ඉපදීමයි, ජීවත් වීමටයි මිනිස්සු වෙලාවක් හදාගන්නවා. ඒකට මූල බීජය කරගන්නේ ඒ මනුස්සයා ඉපදුන වේලාවලු. එතන ඉදන් මැරෙන වෙලාව හැර අනිත් සෑම දෙයක්ම තීරණය වෙන්නෙ හදාගත්ත වෙලාවටලු. හැබැයි අපි කවුරුත් දන්නෙ නෑ අපි මේ ජීවිත කාලෙ ජීවත් වෙන්න හදාගත්ත මේ වෙලාව, අපිට කවුරු කොයි වෙලේ කොහොම දීපු වෙලාවක්ද කියලා.
ඉස්සර කාලෙනම් වින්නඹු අම්ම පරිසරය දිහා බලල කියපු වෙලාවද? නැත්නම් අද කාලේ ඔරලෝසුවේ කටු දිහා බලල කියපු වෙලාවද? එහෙමත් නැත්නම්, ජීවිත දෙකක හුස්ම වෙනුවෙන් සටන් කරන වෙලාවක දොස්තර මහත්තයා ඉස්පිරිතාලේ බිත්තියේ ඔරලෝසුව දිහා බලල කිව්ව වෙලාවද? හරියටම දන්නේ නෑ නේද? හැබැයි දන්නව වෙන්නත් පුළුවන්. හැබැයි අපි කාටවත්ම හරියටම කියන්න පුලුවන්ද, ඒ ඔරලෝසුවේ කටු හරි තප්පරේටම තිබ්බ කියලා? දොස්තර මහත්තයට, නර්ස් නෝනට එක විනාඩියක් වෙලාව එහෙ මෙහෙ උනානම්? එක විනාඩියට ඒ ළමයගේ නැකත වෙනස් වෙන්න පුලුවන් නේද? මම කියන්නෙ නෑ මේ ශාස්ත්‍රය අමූලික බොරුවක් කියලා. හැබැයි ඒ ශාස්ත්‍රය අමූලික ඇත්තක් කරගන්න උත්සහ කරන එක හරි කියල මම කියන්නෙත් නෑ.
සුභ වැඩකට එලියට යනකොට සමහර මිනිස්සු දකින එක, කලු පූසෙක් දකින එක අසුභයිලු. ගෙයක් හදනකොට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට වෙලාවක් බලන්නම ඕනලු. එතකොටලු ඒක සාර්ථක වෙන්නෙ. සුභ වැඩක් පටන්ගන්නකොට තමන්ගෙ උත්සහයෙන් හිතේ සතුටින් ඒ වැඩේ කරනවනම්, තවත් කෙනෙකුට හානියක් නොවෙනවනම් සුභ වෙලාවක් බැලුවත් නැතත් ඒ කාර්ය සාර්ථක වෙනවමයි. අහින්සක දුප්පත් මනුස්සයෙක් දැක්කම අනුකම්පා සිතින් යහපත් චේතනාවෙන් ඒ කෙනා දිහා බලන්න පුලුවන්නම්, කලු වුනත් සුදු උනත් සතෙක් දිහා අවිහින්සාවෙන් ආදරෙන් බලන්න පුලුවන්නම් අපේ ගමන අසුභ වෙන්නෙ නෑ. බුදු දහමෙත් “චේතනාහං භික්ඛවේ, කම්මං වදාමි” කියල තියෙන්නේ ඒකමයි. පොරොන්දම් ගලපලා හදහන් ගලපලා විවාහ වුන මිනිස්සු අතරේ ගැටුම් ඇති වෙලාම නැද්ද? දරුඵල අහිමි වෙලාම නැද්ද? මිනිස්සුන්ට ජීවිතේ හිමිවීම් අහිමිවීම් සිද්ධ වෙනවා. අනෙකාගේ කෙන්දරය අනෙකාට බලපාන්නෙ කොහොමද? ස්වාමියා නිසා බිරිද හරි, බිරිඳ නිසා ස්වාමියා හරි මැරෙනවනම් ඒක කොහොමද අනිත් කෙනාගේ මූසල කම වෙන්නේ? තර්ක විතර්ක සාධක උපමා උපමේය දාල වාද විවාද කරන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්. මොක්ද මේ මාතෘකාව එතරම්ම පුළුල්. අනතුරු, මරණ, ලෙඩ දුක් මිනිස්සු වුන ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන්. ඒ මොන දේ වුනත් ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන තාක්කල් අපේ ජීවිතේ හරි සුභයි. ආසියාතික අපේ රටවල් තවමත් ඉන්නේ හරි ප්‍රාථමික මට්ටමක කියල වෙලාවකට හිතෙනවා. බටහිර රටවල මිනිස්සු අපිට වඩා ඉදිරියට යන්නේ මේ වගේ ප්‍රාථමික මතයන් ඔවුන්ගේ ජීවිත වලින් ඉවත් කල නිසා වෙන්න ඇති.
උත්සහය, කැපවීම, වැඩි දියුණු කරන්න. ආදරය සෙනෙහස, කරුණාව වපුරන්න. තාර්කික චින්තනය, ධනාත්මක අදහස් වර්ධනය කරන්න. මිනිසුන්ට උපකාර කරන්න. තවකෙකුගේ දියුණුව දැක සතුටු වෙන්න. හැකි පමණින් අනෙකාට ආශිර්වාද කරන්න. එවිට සුභවාදී අනාගතයක් වර්තමානයක් උදා වේවි.
කොටු 12 තුළින් ජීවිතේට පාඩමක් එකතු කරගන්න. නමුත් කොටු 12 තුල ජීවත් නොවන්න. ඇත්ත දකින්න. ඕනම දෙයක් දිහා අපි බලන කෝණය සුභවාදී කරගත්තොත්, ජීවිතේම සුභ වේවී.
නෙත්මිණි ගුණවර්ධන