ලෝකය හරිම පුදුමාකාරයි. විවිධාකාරයි. විවිධ ආගම්, ජාති, ඒ ඒ රටවලට විශේෂිත වූ සංස්කෘතීන්, ආචාර ධර්ම, සිරිත් විරිත් මේ ආදී වූ විවිධ භෞතික හා මානව සංයෝජන වල එකතුවක් ලෙස හඳුනා ගන්නා පුළුවන්. ඒ අතරිනුත් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ඉහළම පිළිගැනීමක්. ඒ සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තය පැත්තෙන්. ලංකාවට සංචාරය කරන්න ආපු විදේශීය සංචාරකයෙක් නැවත සංචාරයට එනවා කියන කතාව ඇත්තක් වෙන්න හේතු තියෙන්න ඕනි කියල මම හිතනවා.
ඉතිං මේ අරුම පුදුම ලෝකයේ රමණීය රටක් වන ලංකාව ගැන ලාංකිකයකු ලෙස ඔබ නොදන්න දේවල් කොපමණ තියෙන්න පුලුවන්ද? බොහෝ අය නොදන්න ඒත් දැනගත යුතුම දෙයක් තමයි මේ. ඒ තමයි කච්චතිව් දූපතේ කතාව. කච්චතිව් දූපත කියන්නේ ලංකාවට අයිතිය තිබුනත් ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පිහිටි නමුත් ලංකාවට අයිති සහ ලංකාවට දුරින්ම පිහිටි (40 Km) දූපතක්. කච්චතිව් දූපත භූමි ප්‍රමාණයෙන් අක්කර 285ක පමණ දූපතකි. එසේම ධීවර කටයුතු සඳහා වැදගත් දූපතකි. ඩෙල්ෆ් දූපතට ආසන්නයේ, ශ්‍රී ලාංකික සහ ඉන්දියානු අන්තර්ජාතික මුහුදු සීමාවන් අතර පිහිටා ඇති මෙය ජන ශූන්‍ය පෙදසකි. මේ දූපත සහ මුහුදු සීමාව තුළ ඇති පරිසරයේ සෞන්දර්යය අතින් පරිපූර්ණ බව වඩාත් සිත් ගනු ඇත. එසේම මේ ආශ්‍රිතව ස්වාභාවික ඛනිජ තෙල් සහ ගෑස් පවතින බවට ද මතයක් පවතී.
ඉතින් මෙම දූපතට යන්න නම් මුලින්ම අපි කුරිකට්ටුවාන් ජැටියට තමයි යන්න ඕනි. ඒ කියන්නේ නාගදීපය, ඩෙල්ෆ් වගේ දුපත් වලට යන ජැටිය. එම ස්ථානයේ වාහන නතර කර තැබීමට හැකි නිසා ගොඩක්ම පහසුයි. ඔයාලා බස් එකේ එනවා නම් මෙම ජැටිය දක්වාම ගමන් කිරීමට බස් රථ යොදවල තියෙනවා. එම ස්ථානයේ සිට පැය 04 ක පමණ මුහුදු ගමනකින් පසු එම දූපතකට ලඟා විය හැකිය. එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කිරීම් වලට යටත් වීමට ද සිදු වේ. ඒ වාගේම ශ්‍රී ලංකාවට අයත් වුවද මෙම දූපතට ඇතුලු වන ශ්‍රී ලාංකිකයින්ට සහ ඉන්දියානුවන්ට වෙනත් විදේශ රටකට ඇතුලු වීමේදී අනුගමනය කරන ආරක්ෂිත ක්‍රියාමාර්ග වලට යටත් වීමට සිදු වනවා.
මෙම දුපතේ බොහොමයක් කටයුතු මෙහෙයවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඔවුන් මෙහි පැමිණෙන සියලු දෙනාට ආහාර පාන, ආරක්ෂාව ආදී සියලුම පසුකම් ලබා දීමට කටයුතු කරනවා. ඉතිං මේ දූපතේ විශේෂත්වය ගැන කතා කළොත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි සංඥා කුලුණද මෙම ස්ථානයේ දී පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වාගේම ලංකාවේ මොබිටෙල්, ඩයලොග් දුරකථන සමාගම් විසින් මෙම දූපතට දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා.
විශේෂම කරුණක් තමයි මේ දූපතට යන්න අවසර හිමි වන්නේ අවුරුද්දකට එක වරක් පමණක් වීම. ඒ මෙම ස්ථානයේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාව සදහායි. පෙබරවාරි මස අග සිට මාර්තු මස මුල දක්වා දවස් 2ක කාලයක් මෙම පූජාව පවත්වනවා. ඉතිං ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතාවයට මෙම දූපත විශාල හේතුවක් වන්නට පුළුවන්. මන්ද රටවල් දෙක අතර ඇති සංස්කෘතික මෙන්ම ආගමික බැඳීම ද මේ හරහා තව දුරටත් වර්ධනය වනු ඇත.
ඉතිං ලංකාවේ තිබෙන සුන්දරත්වය තවත් අත්විඳිය හැකි තැනක් ලෙස මේ දූපත හඳුනා ගන්න පුළුවන්. එක් වරක් හෝ මෙහි යාම හා ඒ අත්දැකීම විද ගැනීම ශ්‍රී ලාංකිකයකු ලෙස කළ යුතුම දෙයක් ලෙස කියන්න පුළුවන්. මන්ද ත්‍රාසය ජනක හා කුතුහලය පිරුණු මේ කච්චතිව් දූපතේ කතාව නිසාමයි.
භාග්‍යා බණ්ඩාර.