ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යැයි පවසන විට එය අප හට අලුතින් කතාබහට ලක් කළ යුතු මාතෘකාවක් නොවේ. මන්ද යත් සියල්ලන්ටම ආදීවාසීන් යැයි පැවසූ සැණින් ඔවුන් පිළිබඳ යම් සිතුවමක් මනසෙහි ගොඩනැගෙයි. ඒ ඔවුන්ගේ මතුපිට දර්ශනයන් පිළිබඳ අවබෝධයක් අප තුළ පවත්නා බැවිනි. නමුත් මෙම ආදිවාසී ජනයාගේ සම්භවය, විශ්වාස, ඇදහිලි, වර්ග කිරීම්, පවුල් ජීවිතය ගෙවන ආකාරය යනාදිය සම්බන්ධයෙන් අප හට පවතින්නේ ඉතාමත් අඩු අවබෝධයකි. ඔවුන්ගේ ජීවිත කතා තුළ අප නොදන්නා කරුණු බොහෝමයක් අන්තර්ගත වී ඇති බව ඔවුන් පිළිබඳ සිදු කරන අධ්‍යයන වලින් තහවුරු වෙයි. එම නොදන්නා කරුණු වලින් බිදක් මෙසේ සටහන් කර තබන්නට මා සිතුවෙමි.
ආදීවාසීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී බොහෝ දෙනාට සේම මා හටද නැගුණු ප්‍රථම පැනය නම් මෙම ආදීවාසීන්ගේ සම්භවය කෙසේ සිදු වූවාද යන්නයි. ලාංකීය ඉතිහාසය ගත් විට මේ පිළිබඳ පුරාවෘත්ත රාශියක් දැක ගන්නට ලැබේ. ස්වදේශීය ආදීවාසී සම්භවයකින් පැවත එන එක් ජන වර්ගයක් වශයෙන් ආදීවාසීන් හදුන්වා දිය හැකිය. මේ හා සම්බන්ධව ඉදිරිපත් වන අදහස් විමසා බැලීමේදී යක්ෂ, නේසද, මිලක,ශබර වැනි ඉපැරණි ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක් ම සිට තිබේ. එසේම මොවුන් විජයාගමනයට පෙරාතුව සිටම සිටි අතර මෙම ගෝත්‍රවල එකතු වීමක් ලෙස වැදි ජනතාව බිහි වූ බව දැක්වෙයි. එමෙනම මොවුන් කපාල ‘ ප්‍රොටෝ ඔස්ට්‍රොලොයිඩ්’ ජන වර්ගයට සමානකම් ඇති බවද ප්‍රකාශ වෙයි.
ලංකා ඉතිහාසයේ මුදුන් මල්කඩ වන මහාවංසයේ ද මෙම ආදීවාසීන්ගේ සම්භවය පිළිබඳ සටහන් වෙයි. ඒ අනුව විජය කුවේණි කතා පුවතේ කුවේණි හෙළ යක්ෂ ගෝත්‍රික කුමරියට ජීවහත්ත හා දිසාලා යනුවෙන් දරුවන් දෙදෙනෙකු සිටි බවත් වැදි ජනතාවගේ සම්භවය ඔවුන්ගෙන් පැවත එන බවත් දක්වාලයි.
පොදුවේ මොවුන් ආදීවාසීන් වශයෙන් හැදින්වූවද මෙම මෙම පිරිසේ කණ්ඩායම් අභ්‍යන්තරයේ තවත් වර්ග කිරීමක් දක්නට ලැබේ. එය ප්‍රධාන වර්ග 06ක් යටතේ දැක්වීමට හැකිය.
• මොරාන වරිගෙ
• උනාපාන වරිගෙ
• ඌරු වරිගෙ
• ඇඹල වරිගෙ
• නඩුමඩන වරිගෙ• තලා වරිගෙ
මීට අමතරව ආදීවාසීන් ජීවත් වන ස්ථානය අනුවද යම් වර්ග කිරීමක් දක්නට ලැබේ. හේනේ බැද්ද වරිගෙ, ගොඩතලාව වරිගෙ, එලකොතලිය වරිගෙ, සීතල වන්නිය වරිගෙ, දෙහිගම වරිගෙ හොරබොර වරිගෙ යනු එයින් කිහිපයකි.
මෙම ආදීවාසීන්ගේ ආහාරපාන පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔවුනට ප්‍රධාන ආහාරයක් නොමැත. ඒ වෙනුවට අල,ඵල, මී පැණි, දඩයම් කිරීම ආදියෙන් ආහාර සපයා ගන්නට විය. ඔවුන්ගේ මෙම ආහාර රටාව නිසාම ඔවුන්ට විවිධ වාසස්ථාන කරා ගමන් කිරීමට සිදු විය. එනම් එක් වාසස්ථානයක් අවට අල,ඵල, දඩයම් සතුන් ඉවර වී යාමත් සමග එම වාසස්ථානයෙන් බැහැරව තවත් වාසස්ථානයක් කරා ගමන් කළහ. නමුත් පසුකාලීනව ගම් වැද්දන් ලෙස මොවුන් සමාජගත වූ අතර ඔවුන් ගොවිතැන් කරමින් තම ජීවිකාව පවත්වාගෙන යයි. නමුත් ඔවුන් පෙර සිට පවත්වාගෙන එන ලද සාම්ප්‍රදායික කටයුතු නතර කිරීමකින් තොරව දිගටම රැගෙන යනු ලබයි.
මෙම ආදිවාසී භාෂාව ගත් විට නෑදෑකමට පසුව ‘ඇත්තෝ’ යන්නෙන් යොදනු ලබයි. එසේම ඔවුන්ටම ආවේණික විශේෂ භාෂා ශෙලියක්ද, වාග් මාලාවක් ද පවතී. කැලෑ පොජ්ජ, හූරා, කැකුලා, කැකුලී, පොරෝ කෙජ්ජ… යනාදිය ඉන් කිහිපයකි. එමෙන්ම මොවුන්ගේ විවාහ චාරිත්‍ර පිළිබඳ කතා කිරීමේදී බොහෝ සමාන ලක්ෂණ වර්තමාන සමාජ තුළද දක්නට ලැබේ. එනම් මාමා සහ නෑනා අතර, බෑණා සහ නැන්දා අතර මෙන්ම මව්පිය පාර්ශවයේ සහෝදර සහෝදරියන් අතරත් විවාහ තහනම් කර තිබේ. එමෙන්ම විවාහ කටයුතු වලදී වැඩි වයසක් යාමට පෙර නෑනා හූරා විවාහ සිදු විය. ඉන්පසු දරුවෙක් බිහි කිරීමට සිටීමේදී විවිධ ආරක්ෂාවන්ට බදුන් කිරීමක් ද මෙම ආදිවාසී සමාජය තුළ දක්නට ලැබේ.
මෙම ආදිවාසී ජනයා අතර විශාල ඇදහිලි හා විශ්වාස ක්‍රම දක්නට ලැබෙයි. ජීවිතයේ විවිධ කටයුතු පදනම් කර ගනිමින් ඔවුන් විසින් ඒවා සිදු කරනු ලබයි. ඒ අතරින් ඊතලේ නැටුම, කිරිකොරහ, කිරි අම්මා පූජාව, හත්මේ නැටුම, පට්ට යකා පූජාව, මින්නේරිය දෙවි පූජාව යනුවෙන් කිහිපයක් පෙන්වා දිය හැකිය. මෙවන් ශාන්තිකර්ම සිදු කිරීමේදී කණ්ඩායමේ සියලු දෙනාගේ සහභාගීත්වය මෙන්ම සහයෝගය ද හිමි වෙයි. ඒ හරහා ඔවුන්ගේ එකමුතුව මනාව විදහා දැක්වෙයි.
ආදිවාසී ජනතාව කෙරෙහි වර්තමානයේ දී වැඩි සැලකිල්ලක් දක්වනු ලබන්නේ ඔවුන් පැරණිම වටිනා මානව කොට්ඨාසයක් බැවිනි. එසේම ඔවුන් විසින් අතීතයේ සිටම පවත්වාගෙන එන ලද සිරිත් විරිත්, සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාස යනාදිය මතු පරම්පරාවට ඉතාමත් වැදගත් වන බැවිනි. එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ ද මොවුන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. මේ වන විට ආදීවාසීන් තුළ යමා දියුණුවක් දක්නට ලැබීමද සුවිශේෂත්වයකි.
කෙසේ වෙතත් ආදිවාසී ජනතාව යනු රටකට ඉතාමත් වැදගත් සේම රැක ගත යුතු ජන කොට්ඨාශයක් බව සක්සුදක් සේ පැහැදිලිය. එසේම ඔවුන් සතුව අප නොදන්නා මතුපිටට නොපෙනෙන බොහෝ දේ ඇති බව මෙම ලිපියෙන් හදුනාගත හැකිය.
සනෝජා රංහොටිබණ්ඩාර.