ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ක්‍රියාවලිය දෙස අවධානය යොමු කිරීමේදී එය හුදෙක්ම ආගමානුකූල වපසරියක් මත ගොඩ නැගුණු ලද්දකි. එම වපසරිය යටතේ සිංහල ආර්‍ය ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම ජීවන පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හිමිකම් කියන ලද ජනතාවක් මෙරට වාසය කළ බවට සාක්ෂි ඕනෑ තරම් හමු වෙයි. ඒ අනුව බලන කල්හි ඉතාමත් දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු, අටුකොටු වලින් සපිරිණු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි.
එම ශක්තිමත් ආර්ථිකය ගොඩනැංවීම එකල ජනයාටද ලේසි පහසු කාර්‍යයක් නොවීය. දහදිය වගුරවමින්, එම දහදියෙන් භූමිය තෙත් කරවමින් තම අස්වනු සරි කර ගැනීමට ඔවුන් සුවිශාල වෙහෙසක් දැරීය. මහ පොළොව ගිනියම් කළ අව්ව මෙන්ම පොළොවට වැටෙන වැස්ස ආදී මෙකී නොකී ස්වාභාවික වෙනස්වීම් වලට මුහුණ දෙමින් ඔවුන් මහ පොළොව සමග පොරබදා ආර්ථිකය ශක්තිමත් කලේ තම අඹු දරුවන් පෝෂණය කරමින් කිසිවෙකුට අත නොපා ජීවත් වීමට ය. කැත්ත, උදැල්ල, හරකබාන ඔවුන් සතු පොදු දේපල විය. වැවයි- දාගැබයි, ගමයි- පන්සලයි යන සංකල්පය මූලික හරය විය. වැවෙන් ලැබෙන නිල් දියවරෙන් ගොවිතැන් බත් සරි කරගන්නා සේම දාගැබෙන්, පන්සලෙන් මිනිසාගේ අධ්‍යාත්මික චින්තනයට අවැසි මානසිකා තත්ත්වය නිර්මාණය කර දෙන ලදි.
මහින්දාගමනය, දුමින්දාගමනය ආදී සිදුවීම් සමග ශ්‍රී ලංකාව මුලුමනින්ම පාහේ බොඋද්ධ ආගමික රටක් බවට පරිවර්තනය වන්නට විය. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ක්‍රම ක්‍රම්යෙන් රට තුළ ව්‍යාප්ත වන්නට විය.ඒ අතර බුදු දහමේ උගන්වන කළගුණ සැලකීම යන උතුම් ගුණාංගය මහින්දාගමනයෙන් ඔප වැටුණු ශ්‍රී ලාංකේය කෘෂි අර්ථ ක්‍රමය තුළ ඉතාමත් හොදින් ප්‍රදර්ශනය විය. කුඹුරු අස්වැද්දීමේ සිට ගොයම් කපා, කොළය පාගා, අස්වැන්න ගෙට ගන්නා තෙක්ම සියලුම ක්‍රියාදාමයන්හිදී බුදු පුද පැවැත්වීම ගොවි සංස්කෘතියේ ප්‍රධාන තේමාවක් බවට පත් විය. කුඹුර අස්වැද්දීමට පටන් ගන්නේ බොහෝ සෙයින් පේවීය. කෙත හා බැදි සියලුම අවස්ථාවන් වලදී දානය අමතක නොකල කෘතගුණශීලී ගොවි පරපුරක් ශ්‍රී ලාංකේය ගොවි සංස්කෘතිය තුළ සිටි බවට බොහෝ සක්ෂ්‍ය හමුවෙයි. ජනකවි, ජනප්‍රවාද, ජනකතා යනාදී සාහිත්‍ය තුළින එය මනාව තහවුරු කර ගත හැකිය. මේ සෑම ක්‍රියාවකම අවසන් ප්‍රතිඵලය වශයෙන් ගොවියන් බලාපොරොත්තු වන්නේ සරුසාර අස්වැන්නක් ලබා ගැනීමයි. වෙහෙස මහන්සි වී දහඩිය වගුරා නෙළාගත් අස්වැන්න පන්සලට හෝ දේවාලයට වෙන් කිරීම අනිවාර්ය මෙන්ම ප්‍රථම රාජකාරිය විය.
දහදිය වගුරා සපයා ගත් වී අස්වැන්නේ අග්‍ර කොටස අලුත් සහල්, අලු සහල්, අගස, අගහස, අලුස්සාල්, මුල් යාල සහ අක්කියාල යන නම් වලින් හදුන්වනු ලබයි. එහි ප්‍රමුඛ කොටස වශයෙන් පූජා කරන ලද දානය අගස්දානය, අගහස් දානය, අගසස් දානය, අලු සහල් මංගල්‍ය, අලුත් සහල මගල්‍ය යන නම් වලින් ව්‍යවහාර වෙයි. මෙම මංගල්‍ය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් වාර්ෂිකව පවත්වන ලද උත්සවයකි. මේ සදහා පේවී කැප වී කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ හද පිරි ගරුත්වය හා භක්තියද පෙරදැරි කර ගනිමිනි.
19 වන සියවසේ මුලදී මෙම අලුත් සහල් මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත් වන්නේ රාජ්‍ය අනුග්‍රහයද නොමදව හිමි වෙමිනි. ශ්‍රී දළදා මාලිගාවේ සෑම වසරකම දුරුතු පොහොය මූලික කර ගනිමින් අලුත් සහල් මංගල්‍ය පැවැත්වේ. තවද ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත වාර්ෂිකව මෙම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි. මීට අමතරව වර්තමානය වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ පදනම් කර ගනිමින් ඉතාමත් උත්සවශ්‍රීයෙන් මෙම අලුත් සහල් මංගල්‍ය පවත්වනු ලබන්නේ අතීතයේ සිටම පවත්වාගෙන එන ලද චාරිත්‍ර වාරිත්‍ර ක්‍රම විධි වලටද මූලිකත්වය ලබා දෙමිනි. අතීත රජ දරුවන්ගේ සිටම වර්තමානය දක්වාම පවත්වාගෙන එනු ලබන සාම්ප්‍රදායික උත්කර්ෂවත් උත්සවයක් ලෙස මෙම අලුත් සහල් මංගල්‍යය පෙන්වා දිය හැකිය.
සනෝජා රංහොටිබණ්ඩාර.