කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල්වල හිඟ විදුලි බිල්පත් ගොඩගැසීමට හේතුව මාස කිහිපයක සිට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළා.
බිල්පත් නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල පසුගිය 26 වැනිදා විදුලිය කප්පාදු කිරීමටයි පියවර ගැනුනේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුපියල් මිලියන 30 ක පමණ හිඟ විදුලි බිල්පතක් පවතින අතර ඉන් කොටසක් ගෙවා එදිනම යළි විදුලි සම්බන්ධතාවය ලබාගැනීමට කටයුතු කළා.
එමෙන්ම පසුගිය 26 වැනිදා කොළඹ ජාතික රෝහලේද අංශ කිහිපයක විදුලි කප්පාදු කිරීමට කටයුතු කර ඇති අතර රෝගි ප්‍රතිකාර සේවාවන්ට බාධා නොවන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
මේ අතර කාසල් රෝහලේද මේ වන විට රුපියල් මිලියන 16 ක හිඟ විදුලි බිලක් පවතින අතර පසුගිය 26 වැනිදා විදුලිය විසන්ධි කිරීමේ රතු බිල්පතට අනුව විදුලි කප්පාදු කිරීමට පැමිණි අවස්ථාවේ රුපියල් මිලියන 02 ක මුදලක් ගෙවා කඩිනමින් එම විදුලි කප්පාදුව වළක්වා ගැනීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.
ප්‍රධාන රෝහල් හැරණු විට පර්යන්ත රෝහල් ගණනාවක ද මෙවැනිම ආකාරයේ හිඟ විදුලි බිල්පත් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම පවතින ගැටලූකාරි තත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ මාසික රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එහිදී තීරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් , විදුලි බල අමාත්‍යවරයා එම අමාත්‍යංශ නිලධාරින් සමඟ එක්ව සාකච්ඡුා කර රෝහල්වල පවතින හිඟ විදුලි බිල්පත් ගෙවීම පිළිබඳ නිසි වැඩපිළිවෙලකට එළැඹිය යුතු බවටයි.
මේ අතර ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව හිඟ බිල්පත් සහිත අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල් ඇතුළු රාජ්‍ය ආයතනවල විදුලිය විසන්ධි නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කලා.
මේ අතර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ පවතින ගැටලූ සම්බන්ධයෙන් රෝහල් මඟින් දැනුවත් කිරීමක් සිදුකළහොත් පමණක් විදුලිය විසන්ධි කිරීම පිළිබඳ මැදිහත්වීමක් සිදුකළ හැකි බවයි.