හිතට නිදහසක්, චමත්කාරයක්,අස්වැසිල්ලක් දැනෙන යමක් කියවන්න, විදින්න, බෙදාගන්න ඔබ, මම,අපි සියල්ලෝ කැමති වෙමු. කවිය ද එවන් ජීවිතය පහසු කරවන ඔසුවකි. ඒ කවියක් කියවීමෙන් විදීමෙන් ලැබෙන යම් කිසි රසවත් බවක් නිසා විය හැකියි. ම්ත්‍රත්වය මත පදනම් වූ සමාජ සන්ධර්භය තුළ මෙකී රසය එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ කාරණයකි. එහි දී සතුටම නොව සංවේදනා සොයා යෑම සිදු වේ. එලෙස සාහිත්‍යය ලෝකයේ සංවේදනා සොයා යන සහෘද හදකට කවිය මනා පිටිවහලක් වේ.
කවිය වනාහි භාෂාව සෞන්දර්යාත්මක රිද්මයකට ගොනු කරමින් රසභාව නොඅඩුව ලබා දෙන කලාංගයකි. හෘද ස්පන්දනයේ පටන් ලෝකයේ පවතින සියල්ල තුළ රිද්මයක් ගැබ්ව පවතී. එකී රිද්මය හදුනා ගන්නා කවියා තමා ජීවිතය තුළ අත්විදි අත්දැකීම් ඒ ඔස්සේ ප්‍රතිනිර්මාණය කරයි. එලෙස කවියා ලැබූ අත්දැකීම් ප්‍රබල හා පුළුල් වන තරමටත් , කවියා දෘෂ්ටි හා දර්ශනවාද ඇසුරේ ලද හික්මීම නිවරැදි වූ තරමටත් කවිය ද පරිණත හා ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වේ. සහෘද හදවත් ආමන්ත්‍රණය කළ හැකි චමත්කාර ජනක කාව්‍ය නිර්මාණයක් ඒ හා සමඟ සමාජ ගත වේ.
එනිසාම කවිය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් වන බව පැවසිය හැක. එය ප්‍රේමයට සමාන වේ. මන්ද ප්‍රේමයකදී මෙන් ම කවියකින් ලබන චමත්කාරය මේ ආකාරයෙන් තිබිය යුතුයැ’යි කිසිවෙකුට තීරණය කළ නොහැකි නිසාවෙනි. එනම්, කවියේ රස භාව කවියාගේ,අත්දැකීමෙන් – අත්දැකීමකට , කවියෙන් කවියට වෙනස් වේ. එය ආනන්දයෙන් ආරම්භ වේ .සංවේදනා කෙරෙහි නැඹුරු වෙමින්, කවියාගේ සහජ කවි හැකියාවෙන් පෝෂණය වෙමින් ගලා යයි . විවිධ වූ අරමුණු තුළ දැවටී ජීවිතය පිළිබඳ අර්ථ විවරණයක යෙදෙමින් අවසන් වේ. එනිසා ම කවියාද කවියක් බවට පත් වේ. කවි හිත එහි රිද්මය බවට පත් වේ.
සිංහල කාව්‍ය කලාව ද එලෙස කවියාගේ කවි ශක්තිය මත ගොඩනැගී වර්ධනය වූ කලා ක්ෂේත්‍රයකි. යුග යුග පසු කරමින් ගලා ආ එකී කාව්‍ය කලාව ද නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දහනව වන සියවසේ සිට විසිවන සියවසේ දෙවන දශකය දක්වා කොළඹ යුගයේ වැඩිහිටි පරපුර ලෙස කාව්‍යකරණයට පිවිසියෝය .ජාතිකත්වය , ආගමාලය හා දේශීයත්වය පිළිබඳ පිබිදුණු හැඟීමෙන් යුතුව කාව්‍යකරණයේ නියුතු වූ ඔවුහු එවකට යටත් විජිතයක් බවට පත්ව තිබූ ලංකාව බටහිර ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා ජනතාව සවිඥානක කිරීමේ ප්‍රමුඛ අරමුණකින් භාෂාව තුළට රිද්මය කැටි කළහ. ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි, පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරතුංග වැනි කවියෝ එලෙස ජාතිය නගා සිටුවීමේ අරමුණින් කවිය අවියක් කොට ගනිමින් ලාංකේය කාව්‍ය කලාව පෝෂණය කළහ.
පසුකාලීනව කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් කවීහු සිය කවි ශක්තිය ස්වාධීන මාර්ගයක් ඔස්සේ ගමන් කරවීමට වග බලා ගත්හ. චිරන්තන පද්‍ය සම්ප්‍රදායෙන් මුළුමනින්ම බැහැරව යමින් ලෞකික අරමුණු තම කවිය සඳහා අරමුණු කොට ගන්නා ලදී. එහි දී ප්‍රේමය හා සමාජ දුර්වලතා විවේචනාත්මක ව ඉස්මතු කිරීම කැපී පෙනුනු ලක්ෂණයක් විය.පී.බී අල්විස් පෙරේරා,මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න මානවසිංහ,එච් .එම් කුඩලිගම ආදී විශිෂ්ට කවියන්ගේ ආගමනය එකල ලාංකේය කාව්‍ය කලාවේ පෝෂණයට බලපාන ලදී.
එසේ ම කවිය හා සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කරන විට නූතන සිංහල පද්‍ය සම්ප්‍රදාය නවමු මගකට යොමු කළ හෙළ හවුලේ කවි හවුල අමතක කළ නොහැක. එය කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමීත්වයෙන් ගොඩනැඟුනකි. රැපියෙල් තෙන්නකෝන්,අරිසෙන් අහුබුදු, ආදීන් එහි සක්‍රීය ලෙස ක්‍රියාත්මක වූ අතර ව්‍යංගාර්ථවත් යෝජනාශ්‍රයෙන් කාව්‍ය රසගැන්විම මූලික පරමාර්ථය විය.
1946 පමණ වන විට ජී.බී සේනානායකයන්ගේ පලිගැනීම නම් කෙටිකතා සංග්‍රහය සමඟ සිංහල කවිය එළිසමය සහිත සඳැස් සම්ප්‍රදාය වෙනුවට නිසදැස් නම් නව කාව්‍ය සම්ප්‍රදායකට ප්‍රවේශ විය. අනතුරුව සිරි ගුණසිංහයන් විසින් එකී නිසඳැස් සම්ප්‍රදාය ‘ මස් ලේ නැති ඇට ‘ නම් කාව්‍ය කෘතිය හරහා විධිමත් ව කාව්‍ය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙන ලදී. මෙමඟින් මෙතෙක් දුර ගලා ආ කවියේ ගමන් මඟ වෙනස් වූවා සේ ම මෙම නව සම්ප්‍රදාය අනුදත් නිර්මාණකරුවන් අතර මහගම සේකර, ගුණදාස අමරසේකර, විමල් දිසානායක ආදීහු වෙති. ආදරය, පාළුව, ආත්මානුකම්පාව,වැනි මනෝභාවයන් සේ ම සමාජය තුළ පැවැති විවිධ කම්පනයන්ද මෙම නිසඳැස් සම්ප්‍රදාය ඔස්සේ සමාජ ගත කරන ලදී.
පසුකාලීනව නිසඳැස් සම්ප්‍රදාය සමාජය තුළ යම් පසුබෑමකට ලක් වූ අතර එහි දී ගුණදාස අමරසේකරයන්ගේ පුරෝගාමීත්වයෙන් නැවත සිංහල කවිය ජන කවි සම්ප්‍රදාය ඇසුරු කොටගත් නව මානයකට යොමු කරන ලදී.
මෙලෙස් විවිධ පසුබෑම් සේම නව මානයන් හඳුන්වා දිම් සමඟ පෝෂණය වූ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය 1970 වර්ෂයෙන් පමණ පසු කාලය තුළ නව සම්ප්‍රදායක ආගමනයක් සිදු වූ කාල වකවානුවක් ලෙස නම් කළ හැකි කාලයකි. සියලු සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් සාහිත්‍යයමය වෙනසක් ඇති වූ අතර සඳැස් හෝ නිසඳැස් ලෙස අදාළ කාව්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීමට උචිත ආකෘතියක් අනුගමනය කිරීම ආරම්භ විය. මොනිකා රුවන්පතිරණ ,පරාක්‍රම කොඩිතුවක්කු ,රත්න ශ්‍රි විජේසිංහ,යමුනා මාලනී පෙරේරා , ලාල් හැගොඩ ආදී කවීහු මෙකළ කාව්‍ය ක්‍ෂේත්‍රය පෝෂනය කළහ. මානව හිතවාදී හා සමාජවාදී ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සමාජ යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම මේ හරහා සිදු විය. මෙම කවීහු සජීවි සංකල්ප රූප, උපමා රූපක මෙන් ම කාව්‍යෝක්ති ස්වකීය නිර්මාණය සමාජ ගත කිරීම සඳහා භාවිත කළ අතර නව අත්දැකීම් ප්‍රතිනිර්මාණය මඟින් සහෘදයා ප්‍රකම්පණය කොට ඥානනය කිරීම සඳහා උචිත කාව්‍ය රීතියක් ඔස්සේ කාව්‍ය මෙහෙයවීම ද සිදු කළහ.
මෙලෙස විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් ගලා ආ සිංහල කාව්‍ය කලාව වර්තමානය වන විට ද විශිෂ්ට කාව්‍ය නිර්මාණ සමාජය වෙත සම්ප්‍රේෂණය කරමින් පවතින සක්‍රීය කලා ප්‍රවාහයකි. එහි දී,හුදු මිනිස් කටහඩින් කවි, ගී නැගෙනු වෙනුවට හැඟීම් බුද්ධිය සමඟ සුසංගත වූ නිර්මාණ සමාජ ගත ව ඇත. ඒ හරහා හැමවිට ම කාව්‍ය රසවිදින සහෘදයාගේ ජීවිතයට පුළුල් පරාසගත අත්දැකීම් පරිචයක් ලබාදෙනු ඇත. එනිසා ම කවියකින් ලෝකයක් කියවිය හැකි අතර කවියෙකුට ලෝකය ම කවියක් කර ගත හැකි ය.
සඳුනි දිසානායක.