Online යනු වර්තමානයේ ලොකු, කුඩා සැම දෙනාගේම මුව තුළ නිරතුරු රැව් පිළිරැව් දෙන වදනකි. මෙකී online සූත්තරය මුළු ලොවම ඇසිල්ලකින් එක පිඩකට නතු කර ගැනීමට හැකි නව පිම්මක් වශයෙන් හදුනාගත හැකිය. මෙ’Online’ය කෙතරම් දුරකට ප්‍රබල වන්නේද යන්න කිවහොත් වර්තමාන ‘Online’මිනිසාගේ ජීවන චක්‍රය පවා තීරණය කරනු ලබන්නේ මෙම online තාක්ෂණය යි. පරිගණකය, ජංගම දුරකථනය යන උපකරණ සමාජගත වීමත් සමග මෙම තාක්ෂණය ඉතාමත් සරල මෙන්ම වැඩ පහසු කරන තත්ත්වයට පත් වී හමාරය. සත්‍ය වශයෙන්ම වර්තමානයේ පවත්නා අන්තර්ජාලය සමග මුසු වූ තාක්ෂණය හේතුවෙන් මිනිසා ඉතාමත් දීර්ඝ ගමනකට අත්තිවාරම් දමා තිබේ. මෙය එක් ක්ෂේත්‍රයකට පමණක් නොව පුළුල් පරාසයක් පුරා විහිදී පැතිරී ඇති තත්ත්වයකි.
මිනිසා ගත කරන කාර්‍යබහුල ජීවිතය තුළ තමාට අවශ්‍ය කරන දේ ඉතාමත් ඉක්මනින්, පහසුවෙන් කාලය ඉතිරි කර ගනිමින් තමා සතු කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ. උදෑසන අවදි වූ තැන සිට දවස නිමා කරන තාක් මෙම ක්‍රියාවලිය සිදු වෙයි. නමුත් මෙහි කෙතරම් වාසිදායක තත්ත්වක් තිබුණද අයහපත් පැතිකඩක් ද පවතී. එයට බලපා ඇති ප්‍රධාන හේතුව වශයෙන් නව මාධ්‍ය භාවිතා කිරීමේ සාක්ෂරතාව පහල මට්ටමක පැවතීම පෙන්වා දිය හැකිය.
වර්තමානයේ ලොකු-කුඩා සැවොම නව මාධ්‍ය ඉතාමත් අධික ලෙස භාවිතා කරනු ලබයි. ඒ අතර Facebook, Whatsapp, Instergram, Twitter, Tiktok යනාදිය ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම මාධ්‍යයන් ඵලදායී ලෙස මෙන්ම ඉතාමත් අනිසි අයුරින් භාවිතා කරමින් තමාගේ මෙන්ම අනෙකාගේ ද ගෞරවය කෙළෙසන අවස්ථා ඕනෑ තරම් අපට දකින්නට, අසන්නට ලැබේ. මේවා සයිබර් අපරාධ වශයෙන් හදුනා ගන්නා අතර මේවාට දඩි නීතී රීතිද පවතී. මෙවැනි සිද්ධි වලට බොහෝ සෙයින් ගොදුරු වන්නේ පාසල් සිසුන් වීම බරපතල ගැටලුවකි. රටේ පැවති කොරෝනා වසංගතය සමග සියල්ලම අන්තර්ජාලය හරහා මාර්ගගතව සිදු කිරීමට සිදු විය. මේ අතර අධ්‍යාපනය ප්‍රධාන විය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අධ්‍යයනය හැදෑරීම උදෙසා දෙමාපියන් දරුවන්ට ජංගම දුරකථන ලබා දෙන්නට විය.
මෙම ක්‍රමය යටතේ ඇතැම් දරුවන් නිවැරදි ප්‍රතිඵල අත් කරගත් අතර තවත් පිරිසක් මෙම ජංගම දුරකථන අනිසි ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵල ලෙස විවිධ පුවත් සමාජය තුළ පැතිර යන්නට විය. මෙම තත්ත්වය යටතේ දෙමාපියන් රැකියාවට පිටත්ව ගිය පසු නිවසේ තනි වන දරුවන් ජංගම දුරකථනය හරහා online තාක්ෂණය මගින් විවිධ දුරාචාරයන්ට ගොදුරු වෙයි. තමාට නොගැලපෙන, තම වයසට වඩා වැඩි මිතුරන් ඇසුරු කිරීමට පෙළඹෙයි.එම පෙළඹීම නිසාම විවිධ දුරාචාරයන්ට ගොදුරු වීම නිරන්තරයෙන් සිදු වේ.
නිවසේ තනි වන දරුවන් තම තනිකම, පාළුව මකා ගැනීම උදෙසා ඇති කර ගන්නා මිතුරු සබදතා හේතුවෙන් ඒවා දුර දිග ගොස් සමාජයට පවා මුහුණ දීමට නොහැකි තත්ත්වයක් දක්වා ගමන් කරයි. තම නිරුවත පවා සමාජ මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ සංසරණය වනතෙක් මේ කිසිවක් දරුවන් හෝ දෙමාපියන් දන්නේ නැත. මෙවැනි බොහෝමයක් සිද්ධි නීතිය ඉදිරියට පවා නොඑන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ගෞරවය කෙලෙසී යන නිසාවෙනි. නමුත් අවාසනාවන්ත ලෙස මෙවැනි හේතූන් නිසා ජීවිත වලින් පවා වන්දි ගෙවීමට දරුවන් දෙවරක් සිතන්නේ නැත. එතරම් දුරට මෙම online සතුරා ක්‍රියා කරනු ලබ්න්නේ හිත් පිත් නැති ලෙසිනි. සමාජය පිළිබඳ දැනුමකින් තොරව online සිරගෙය තුළ සිර වන, තනිවන දරුවන්ගෙන් මීට වඩා දෙයක්ද බලාපොරොත්තු විය නොහැක.
එසේම මෙම පාසල් ළමුන් online තාක්ෂණට නැඹුරු වීම නිසාවෙන් විවිධ රෝගාබාධ වලටද මුහුණ දීමට සිදු වී තිබේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින මෙම පරම්පරාව එවැනි බෝ නොවන රෝග වලට ගොදුරු වීම ඉතාමත් අවාසනාවන්තය. එසේම මෙම online තාක්ෂණය හේතුවෙන් ළමුන්ගේ පොත පත කියවීමේ ප්‍රවණතාව බොහෝ සෙයින් අවම වී තිබේ. මේ හේතුවෙන් ළමුන් කිසිදු සංවේදී බවක් නොමැති, ඉවසීමක් නොමැති, දරදඩු පිරිසක් බවට පත් වී තිබේ. මෙම තත්ත්වය එම දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයටද බෙහෙවින් බලපෑම් කරනු ලබයි.
රටකට තාක්ෂණික දැනුමක් අත්‍යවශ්‍ය වේ. තාක්ෂණික දැනුමකින් තොරව රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැක. නමුත් ඒ සදහා යම් ක්‍රියා පටිපාටියක් තිබිය යුතු ය. ඊට සමගාමීව නව මාධ්‍ය භාවිතා කිරීමේ සාක්ෂරතාක් තරුණ පරම්පරාව වෙත ලබා දිය යුතුය. එසේ නොමැති වුවහොත් සයිබර් අවකාශයේ සිදුවන අපරාධ දිනෙන් දින වර්ධනය වනු ඇත. උදෑසන පුවත්පතක් ගත්තද, ප්‍රවෘත්ති විකාශයක් ගත්ත ද මෙම නව මාධ්‍ය හා online තාක්ෂණය සම්බන්ධ කිනම් හෝ පුවතක් අසන්නට, දකින්නට ලැබේ. එසේම සිය දිවි නසා ගැනීම් එමටය. මෙම තත්ත්වය හේතුවෙන් දෙමාපියන් බොහෝ සෙයින් අසරණ භාවයට පත් වේ. මෙම තත්ත්වය වෙනස් විය යුතුය. මෙතරම් දියුණු සමාජයක මෙවන් පුවත් ඇසිය යුතු නැත. මෙම නව මාධ්‍යයේ සහ online තාක්ෂණයේ යහපත් මෙම ගත හැකි දේ බොහෝය. එම යහපත් ප්‍රතිඵල නෙලා ගනිමින් තමාද සුරැකිව, අන් අයද සුරක්ෂිත කරමින් කටයුතු කළ යුතු බව සියලු දෙනා සිහි තබා ගත යුතුය.
සනෝජා රංහොටිබණ්ඩාර.