රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය 12 වනදා නිදහස ලැබූ පිරිස අතර සිටින ශ‍්‍රී ලාංකිකයින් හතරදෙනාගෙන් තුන්දෙනෙකු යළි දිවයිනට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන ලියකියවිලි ශ‍්‍රී ලංකාවට යොමුකර ඇති බවයි ඔවුන් මේ වනවිට රැඳී සිටින තමිල්නාඩුවේ තිරුචි දිස්ත‍්‍රික් ලේකම් එම්. ප‍්‍රදීප් කුමාර් ප‍්‍රකාශ කළේ.
එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ‍්‍රීහරන් ඇතුලූ හයදෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, එහි සිටි ශ‍්‍රී ලාංකිකයින් හතරදෙනා එරට නීතියට අනුව තිරුචි දිස්ත‍්‍රික්කයේ විශේෂ කඳවුරකයි රැඳී සිටින්නේ.
තිරුචි දිස්ත‍්‍රික් ලේකම් එම්. ප‍්‍රදීප් කුමාර් පෙරේදා ඔවුන් පිළිබඳව විමසා බැලීම සඳහා එම කඳවුරට ගොස් තිබුණා.
එහිදී ශ‍්‍රී ලාංකිකයින් වන ඔවුන්ගේ තොරතුරු විමසා මේ වනවිට ශ‍්‍රී ලංකාවට ලියකියවිලි යොමු කර ඇති බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචාරය මත ඔවුන් යළිත් එවීම සම්බන්ධයෙන් කටයුතු සිදුකරන බවද මෙහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම පිරිස අතර නලිනිගේ ස්වාමි පුරුෂයා වන ශ‍්‍රී ලාංකිකයෙකු වන මුරුගන් ද සිටිනවා.
නලිනි නිදහස ලැබීමෙන් අනතුරුව සිය ස්වාමි පුරුෂයා විශේෂ කඳවුරට පැමිණ හමුවී ඇති අතර, එහිදී ඇය දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් වාචිකව ඉල්ලා ඇත්තේ සිය සැමියාව එංගලන්තයට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ, නලිනිගේ සහ මුරුගන්ගේ දියණිය මේ වනවිට ලන්ඩනයේ වාසය කිරීම හේතුවෙන්. එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා අදාළ ඉල්ලීම ලිඛිතව යොමු කරන ලෙස දැනුම්දී තිබෙනවා.
හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ‍්‍රී පෙරුම්ත්තූර් හිදී ඝාතනයට ලක්වුණේ ධනු නැමති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක මල්මාලා පළඳවමින් එල්ල කළ ප‍්‍රහාරයේදියි.